203. කිඞ්කිණිකපුප්ඵිය ථේරාපදානය
2280. “රන් ඇගෑවක් මෙන් බබළන සර්‍වඥවූ ලෝකනායක බුදුරජතෙමේ සිසිල් දිය සහිත විලකට බැස ජල ස්නානනය කළ සේක.
2281. “මම කිකිණි මල් ගෙන ඔදවැඩි සිත් ඇත්තේ සොම්නස්වූයේ, විපදෝත්තමවූ, තාදී ගුණ ඇති විපස්සී බුදුරජුන්හට පිදීමි.
2282. “මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
2283. “සත්විසිවන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති භීමරථ නම් සක්විති රජෙක් වීමි.
2284. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කිඞ්කිණිපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කිඞ්කණිපුප්ඵියත්ථෙරස්සාපදානං තතියං.
204. තරණිය ථේරාපදානය
2285. “වීපදෝත්තමවූ, නරශ්‍රේෂ්ඨවූ භාග්‍යවත් අත්‍ථදස්සී බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් විසින් පිරිවරන ලදුයේ ගංතෙරට එළඹිසේක
2286. “(මම) සමව මුවවිට දක්වා පිරුණු, කපුටුවනට පවා ඉවුරෙහි සිට පැන් පානය කළහැකිසේ දියෙන් පිරීගිය එම ගඟින් තරණයකොට එතරට යාම දුෂ්කරවූ වීපදෝත්තමවූ බුදුරජුන්ද, භික්‍ෂු සංයාද එතර කරවීමි.
2287. “එක්දහස් අටසියවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (ගඟින්) තරණය කරවීමෙහි මේ විපාකයයි.
2288. “මින් එක් දහස් තෙසියවෙනි කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති “සම්භාගව” නම් පස් සක්විති රජකෙනෙක් වූහ.
2289. “මම මේ පශ්චිම භවයෙහි බමුණු කුලයෙහි උපනිමි. යහළුවන් තිදෙනෙකු සමග ශාස්තෘ ශාසනයෙහි පැවිදිවීමි.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තරණිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තරණියත්ථෙරස්සාපදානං චතුත්ථං.
205. නිග්ගුණ්ඩිපුප්ඵිය ථේරාපදානය
2290. “(මම) විපස්සී බුදුරජාණන් වහන්සේගේ ආරාමිකයෙක් වීමි. (ඒ මම) නිකමල් ගෙන බුදුරජාණන් වහන්සේට පිදීමි.
2291. “මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
2292. “මින් පන්තිස්වන කපෙහි මහත් බල ඇති ජනාධිපතිවූ මහාප්‍රතාප නම් සක්විති රජෙක් වීමි.
2293. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නිග්ගුණ්ඩිපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
නිග්ගුණ්ඩිපුප්ඵියත්ථෙරස්සාපදානං පඤ්චමං.
206. උදකදායක ථේරාපදානය
2294. “මම පැහැදුණු ඉඳුරන් ඇති, කෙළෙස් කැළඹිලි නැති, වළඳන්නාවූ ශ්‍රමණයන් වහන්සේ කෙනෙක් දැක එම සිද්‍ධාර්ත්‍ථ බුදුරජුන්හට කලයෙන් දිය ගෙනවුත් දුනිමි.
2295. “මම අද පහවූ සැක ඇති පිරිසිදුවූ නිර්‍මල කෙනෙක් වෙමි. (ඒ හේතුවෙන්) භවයෙහි උපදිනා කල්හි යහපත් විපාක ඇතිවේ.
2296. “මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් ජල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. උදක දානයාගේ මේ විපාකයයි.
2297. “මින් සැටවන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති “විමල” නම් සක්විති රජෙක් වීමි.
2298. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදකදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
උදකදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.