197. තින්දුකදායක ථේරාපදානය
2248. (මම) බල වේගයෙන් යුත් ගිරි දුර්ගයන් හා හැසිරෙන වඳුරෙක් වීමි. (එකල්හි) ගෙඩි හටගත් තිඹිරි ගසක් දැක බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කෙළෙමි.
2249. පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, කිහිප දිනක්ම භවත්රයෙහි අන්තයට ගියාවූ සිද්ධාර්ත්ථ බුදුරජුන් සෙවීමි.
2250. ලෝකයෙහි නිරුත්තර ශාස්තෘවූ (එම බුදුරජතෙම) මාගේ අදහස දැන රහතුන් දහසක් සමග මාගේ සමීපයට පැමිණි සේක.
2251. සතුට උපදවා, එම තිඹිරි ගෙඩි ගත් අතැතිව (බුදුරජුන් වෙත) එළඹියෙමි. කථා කරන්නවුන් අතුරෙහි ශ්රේෂ්ඨවූ සර්වඥවූ භාග්යවත්තෙමේ එය පිළිගත් සේක.
2252. මින් සිව් අනූවන කපෙහිවූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි.
2253. සත් පණස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති උපනන්ද නම් සක්විති රජෙක් වීමි.
2254. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තින්දුකදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තින්දුකදායකත්ථෙරස්ස අපදානං සත්තමං.
198. මුට්ඨිපූජක ථේරාපදානය
2255. පස්මරුන් දිනූ ලොක ජ්යෙෂ්ඨවූ, නරශ්රේෂ්ඨවූ සුමෙධ නම් භගවත් තෙමේ පච්ඡිම ජනානුකම්පාවෙන් වීර්ය්ය වැඩූ සේක.
2256. විපදෝත්තමවූ, තාදී ගුණ ඇති, සක්මන් කරන්නාවූ ඒ බුදුරජුන්ගේ පර්වත ගුහාවට මල් මිටක් පිදීමි.
2257. එම චිත්ත ප්රසාදය කරණකොට ගෙන කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ මම කප් තිස් දහසක් මුළුල්ලෙහි දුගතියක නොඉපදුනිමි.
2258. දෙදහස් තුන්සියවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති එක් සුනෙල නම් සක්විති රජෙක් වීමි.
2259. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මුට්ඨිපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මුට්ඨිපූජකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
199. කිඞ්කණිපුප්ඵිය ථේරාපදානය
2260. සියල්ල තෙමේම අවබෝධ කළාවූ, පස්මරුන් දිනූ, අපරාජිතවූ සුමඞ්ගල බුදුරජතෙම විහාරයෙන් නික්ම නුවරට පිවිසි සේක.
2261. කරණ ලද සියළු බුදුකිස ඇති ඒ සර්වඥ මුනි තෙමේ පිඬු පිණිස හැසිර, නුවරින් නික්ම වනය අතුරෙහි විසූහ.
2262. පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, කිංකිණි පුෂ්පයන් ගෙන සියල්ල තෙමේම දතුවාවූ, මහර්ෂීවූ බුදුරජුන්හට පිදීමි.
2263. මින් සිව් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
2264. මින් සයාසූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති “අපිලාපිස” නම් සක්විති රජෙක් වීමි.
2265. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කිඞ්කණිපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කිංකණිකපුප්ඵියත්ථෙරස්සාපදානං නවමං.
200. යූථිකාපුප්ඵිය ථේරාපදානය
2266. ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, මරුන් ජයගත්, පසැස් ඇති පදුමුත්තර බුදුරජතෙම වනයෙන් නික්ම විහාරයට වඩින සේක.
2267. උතුම් සීනිද්ද මල් දෝතින් ගෙන මෙත් සිත් ඇති, තාදී ගුණ යුත් බුදුරජුන්හට පිදීමි.
2268. එම චිත්තප්රසාදයෙන් සම්පත් අනුභවකොට මම කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දුගතියක් නොදනිමි.
2269. මින් පණස්වෙනි කපෙහි මහත් බල ඇති ජනාධිපතිවූ සවිත්තනන්දන නම් එක් සක්විති රජෙක් වීමි.
2270. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් යූථිකාපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
යූථිකපුප්ඵියත්ථෙරස්සාපදානං දසමං.