195. අඞ්කොලක ථේරාපදානය
2236. පිපුනාවූ රුකඟුන ගසක් දැක (එහි) උතුම් මල් කොෂ සහිතවම නෙලාගෙන එම මල් ගෙන (සිද්ධාර්ත්‍ථ) බුදුරජුන් සමීපයට ගියෙමි.
2237. එසමයෙහි මහාමුනිවූ සිද්ධාර්ත්‍ථ බුදුරජතෙම විවේක සුවයෙන් හුන් සේක. (මම උන්වහන්සේට) මොහොතක් බුහුමන් දක්වා (එම) මල් ගුහාවෙහි විසිරවීමි.
2238. මින් සිව් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
2239. මින් සතිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති දෙවගජ්ජිත නම් එක් සක්විති රජෙක් වීමි.
2240. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඞ්කොලක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අඞ්කොලකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
196. කිසලයපූජක ථේරාපදානය
2241. වාරවතී නගරයෙහි මාගේ පුෂ්පොද්‍යානයෙක් විය. එහිම ගස්වල වැඩීමට ජලය සපයන ලිඳක් වේ.
2242. බුද්ධ බලය තහවුරු බවට පත්, පස් මරුන් දිනූ ඒ සිද්‍ධාර්ත්‍ථ බුදුරජතෙම මට අනුකම්පා කරනුයේ අහස් මගෙහි වඩිනා කල්හි
2243. මහර්ෂීන් වහන්සේට පිදීමට සුදුසු අන් කිසිවක් නොදකිමි. මම හෝපළු (දළු) දැක (එය ගෙන) අහසෙහි දැමීමි.
2244. ඒ අසෝක පල්ලවයෝ වඩින්නාවූ බුදුරජුන් පසුපසින් යෙත්. මම එම විෂ්මය දැක බුදුරජාණන් වහන්සේගේ උදාර බව ආශ්චර්‍ය්‍යයි (සිතීමි.)
2245. මින් සිව් අනූවන කපෙහි (යම්) හෝපළු පිදීමක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
2246. මින් සත් විසිවෙනි කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති “එකස්සර” නම් එක් සක්විති රජෙක් වීමි.
2247. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කිසලයපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කිසලයපූජකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
197. තින්දුකදායක ථේරාපදානය
2248. (මම) බල වේගයෙන් යුත් ගිරි දුර්ගයන් හා හැසිරෙන වඳුරෙක් වීමි. (එකල්හි) ගෙඩි හටගත් තිඹිරි ගසක් දැක බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කෙළෙමි.
2249. පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, කිහිප දිනක්ම භවත්‍රයෙහි අන්තයට ගියාවූ සිද්‍ධාර්ත්‍ථ බුදුරජුන් සෙවීමි.
2250. ලෝකයෙහි නිරුත්තර ශාස්තෘවූ (එම බුදුරජතෙම) මාගේ අදහස දැන රහතුන් දහසක් සමග මාගේ සමීපයට පැමිණි සේක.
2251. සතුට උපදවා, එම තිඹිරි ගෙඩි ගත් අතැතිව (බුදුරජුන් වෙත) එළඹියෙමි. කථා කරන්නවුන් අතුරෙහි ශ්‍රේෂ්ඨවූ සර්‍වඥවූ භාග්‍යවත්තෙමේ එය පිළිගත් සේක.
2252. මින් සිව් අනූවන කපෙහිවූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි.
2253. සත් පණස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති උපනන්‍ද නම් සක්විති රජෙක් වීමි.
2254. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තින්‍දුකදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
තින්දුකදායකත්ථෙරස්ස අපදානං සත්තමං.
198. මුට්ඨිපූජක ථේරාපදානය
2255. පස්මරුන් දිනූ ලොක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ සුමෙධ නම් භගවත් තෙමේ පච්ඡිම ජනානුකම්පාවෙන් වීර්‍ය්‍ය වැඩූ සේක.
2256. විපදෝත්තමවූ, තාදී ගුණ ඇති, සක්මන් කරන්නාවූ ඒ බුදුරජුන්ගේ පර්‍වත ගුහාවට මල් මිටක් පිදීමි.
2257. එම චිත්ත ප්‍රසාදය කරණකොට ගෙන කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ මම කප් තිස් දහසක් මුළුල්ලෙහි දුගතියක නොඉපදුනිමි.
2258. දෙදහස් තුන්සියවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති එක් සුනෙල නම් සක්විති රජෙක් වීමි.
2259. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මුට්ඨිපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මුට්ඨිපූජකත්ථෙරස්ස අපදානං අට්ඨමං.