11. සීහාසනදායකත්ථෙරඅපදානං
“ලොකනාථවූ සිද්ධාර්ථ බුදුරදුන් පිරිනිවි කල්හි ත්‍රිපිටක ධර්මය පැතිරගිය කල්හි බොහෝ ජනයා විසින් දන්නාලද සසුනෙහි,
“මම පහන් සිතින් සතුටුවූයේ සිහසුනක් කෙළෙමි. (එසේම) මම එම සිත පැහැදවීම කරණකොට ගෙන තුසිත භවනයෙහි උපනිමි.
“මම සිංහාසනය තෙමෙන කල්හි එහි ගෘහයක්ද කෙළෙමි. (එසේම) මම සිත පැහැදවීම කරණකොටගෙන තුසිත භවනයෙහි උපනිමි.
“එකෙණෙහි දිගින් සූවිසි යොදුන්වූ පුළුලින් තුදුස් යොදුන්වූ මැනවින් කරණ ලද විමානයක් පහළ විය.
“දිව්‍යකන්‍යාවන් ලක්ෂයක් හැමකල්හි මා පිරිවරත්. විමානයෙහි මැනවින් නිර්මිත කළ ස්වර්ණමය පර්යංකයක් විය.
“හස්ති වාහනද, අශ්ව වාහනද, දිව්‍යවාහනද එළඹ සිටියේය. කැමතිපරිදි ප්‍රාසාදයෝද සිවිකාවෝද (දෝලා) පහළ වෙත්.
“මිණිමුවා පර්යංකයෝද, අනිකුත් රම්‍යවූ බොහෝ පර්යංකයෝද යන සියල්ල මට පහළවෙත්. සිංහාසන දානයාගේ මේ විපාකයයි.
“රුවන් මුවාවූද, රිදීමුවාවූද, පළිඟුවූවාවූද, වීදුරු මුවාවූද, පාදුකා (පාවහන්) නගිමි. (පළඳිමි) පාදපීඨ (පා පුටු) දානයාගේ මේ විපාකයි.
“එකල්හි (එනම්) මෙයින් සිව් අනූවන කපෙහි යම් කර්මය කෙළෙම්ද (ඒ කර්ම බලයෙන්) අගතියක් නොදනිමි. මේ පුණ්‍යකර්මයාගේ විපාකයයි.
“මින් (පෙර) තෙ සැත්තෑවෙනි කපෙහි ඒ ඉන්දු නම් වූ (සක්විති රජවූ) තිදෙනෙක්වූහ. (එසේම) මින් තෙසැත්තෑවෙනි කපෙහි සුමන නම් ඇත්තෝව තෙවරක්ද
“මින් සම සැත්තෑවන කපෙහි වරුණ නම් ඇත්තෝව තෙවරක්ද, සක්විති රජවූහ (ඔව්හු) සත්රුවනින් යුත් සතර මහ දිවයින්හි අධිපතියෝ වූහ.
මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සීහාසනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සීහාසනදායකත්ථෙරාපදානං පඨමං.
12. එකත්‍ථම්භක ථේරාපදානය
“සිද්ධාර්ත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ මහත්වූ උපාසක සමූහයා විය. ඔවුහු බුදුරජුන් සරණ ගියාහු තථාගතයන් වහන්සේ අදහත්.
“(ඒ) සියල්ලෝ එකතුව මන්ත්‍රණයකොට බුදුරජාණන් වහන්සේට උපස්ථාන ශාලාවක් කෙරෙත්. (ඒ සඳහා) එක් ටැඹක් නොලබන්නාහු මහ වෙනෙහි සොයත්.
“මම ඒ උවසු සමූහයා වනයෙහිදී දැක, (එම) සමූහයා වෙත එළඹ, ඇඳිලි බැඳගෙන, උවසු සමූහයාගෙන් (මෙසේ) විචාළෙමි.
“මා විසින් විචාරණ ලද ඒ සිල්වත් උවසුවෝ මෙසේ පැවසූහ. අපි උපස්ථාන ශාලාවක් කරනු කැමැත්තෙමු. (ඒ සඳහා) එක් ටැඹක් නොලබාය කියායි.
“එක් ටැඹ මම දෙමි. මම ශාස්තෲන් වහන්සේට දෙන්නෙමි. මම ටැඹ ගෙන එන්නෙමි. තෙපි (ඒ සඳහා) උත්සාහ නැත්තෝ වෙත්වා.
“පැහැදුනාවූ, සතුටු සිත් ඇති, ඔවුහු මට ටැඹ පැවරූහ. එම වනයෙන් පෙරළා ගොස් ස්වකීය ගෘහයනට පැමිණියාහුය.
“(උවසු) සමූහයා ගිය නොබෝ වේලාවකින්, මම ටැඹක් දුනිමි. එකල්හි සතුටුවූ මම සතුටු සිතින් (එය) පළමුකොටම එසවීමි.
“එය චිත්තප්‍රසාදය හේතුකොටගෙන පැන නැගුනාවූ, උස්වූ, මහල් සියයක් ඇති, මාගේ විමානයට, මම (උත්පත්ති වශයෙන්) ගියෙමි.
“එකල්හි බෙර වයද්දී මම (දෙව් පිරිස) පිරිවරමි. (ඉන්) පස් පණස්වන කපෙහි යසෝධර නම් රජෙක් වීමි.
“එහිද, මට මහල් සියයක් ඇති, උඩට නැගුණු උතුම් කුළු ගෙවලින් යුත්, එක් ටැම් ඇති, මනහරවූ භවනයක් විය.
“එක් විසිවන කල්පයෙහි උදෙන නම් ක්‍ෂත්‍රියයෙක් විය. එහිදී මට සියයක් මහල් ඇති, උස්ව පැන නැංගාවූ, භවනයක් විය.
“යම් යම් දිව්‍ය හෝ, මනුෂ්‍යවූ හෝ යෝනියක උපදිම්ද, සියලු සුව අනුභව කරමි. මෙය එක් ටැඹ පිදීමේ විපාකයයි.
“මින් අනූවන කපෙහි එකල යම් ටැඹෙක් දුනිම්ද, (එහෙයින්) දුගතියක් නොදනිමි. එක් ටැඹ පිදීමේ මේ විපාකයයි.
මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකත්‍ථම්භක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
එකත්ථම්භිකත්ථෙරස්සාපදානං දුතියං.
13. නන්‍ද ථේරාපදානය
“ලෝක ජ්‍යෙෂ්ඨවූ, තාදී ගුණ ඇති, සියල්ල තෙමේම අවබෝධ කර ගත්තාවූ, මහර්ෂිවූ, පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට මා විසින් කොමු වස්ත්‍රයක් පුදන ලදී.
“ඒ (වස්ත්‍ර දායකවූ) මට පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක. “ඔබ මේ වස්ත්‍ර දානය කරණකොටගෙන ස්වර්‍ණ වර්‍ණ වන්නෙහිය.