174. උදපානදායක ථේරාපදානය
2121. “මා විසින් විපස්සී බුදුරජාණන් වහන්සේට ලිඳක් කරණ ලදී. මම එකල්හි පිණ්ඩපාතයද දී (මෙම ලිඳද) පිදීමි.
2122. “මින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් (කූප දාන නම්වූ) කර්මයක් කරණ ලදද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ලිඳක් පිදීමෙහි මේ විපාකයයි.
2123. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදපානදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
උදපානදායකත්ථෙරස්සාපදානං චතුත්ථං.
175. සීහාසනදායක ථේරාපදානය
2124. “පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි මම පහන් සිත් ඇත්තේ සොම්නස්වූයේ සිහසුනක් (බෝ රුකට) දුනිමි.
2125. “මේ ලොව සුව එලවන බොහෝ ගඳින් මලින් එහි පූජා පවත්වා බොහෝ ජනයා කෙළෙස් ගින්නෙන් නිවෙයි.
2126. “මම පහන් සිත් ඇත්තේ සොම්නස්වූයේ උතුම් බෝධිය වැඳ (ඒ හේතුවෙන්) කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නොඉපදුනිමි.
2127. “පසළොස්දහස්වන කපෙහි සිළුච්චය නම්වූ ඒ අට සක්විති රජ කෙනෙක් වූහ.
2128. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සීහාසනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සීහාසනදායකත්ථෙරස්සාපදානං පඤ්චමං.
176. මග්ග දත්තික ථේරාපදානය
2129. “විපදෝත්තමවූ, නරශ්‍රේෂ්ඨවූ, අනොමදස්සී භාග්‍යවත් තෙමේ මෙම අත්බැව්හිම සිරුර සුවය ලබනු පිණිස එළිමහනෙහි සක්මන් කළ සේක.
2130. “(සක්මන් කිරීම සඳහා එම බුදුරජතෙම) පා එසවූ කල්හි (පියුම් උපුල් ආදී මල්) (විසිරී) උන්වහන්සේගේ හිසේ මුදුනෙහි බබළමින් සිටියි. පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ වැඳ මම මල් ටිකක් විසුරුවා ලීමි.
2131. “මින් විසිදහස්වන කපෙහි පුප්ඵච්ඡදනිය නම් මහත් බල ඇති පස් සක්විති රජකෙනෙක් වූහ.
2132. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මග්ග දත්තික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මග්ගදත්තිකත්ථෙරස්සාපදානං ඡට්ඨං.
177. එකදීපිය ථේරාපදානය
2133. “පදුමුත්තර බුදුරජුන්ගේ සළල බෝරුකෙහි පහන් සිත් ඇත්තේ සොම්නස්වූයේ මම එක් පහනක් පත්තු කළෙමි.
2134. “භවයෙහි උපදනා කල්හි නිපදවූ පින් රැසෙහි (විපාක වශයෙන්) දුගතියක් නොදනිමි. ප්‍රදීප දානයාගේ මේ විපාකයයි.
2135. “මින් සොළොස්වන කපෙහි චන්‍ද්‍රභ නම් මහත් බල ඇති සිව් සක්විති රජකෙනෙක් වූහ.
2136. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකදීපිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
එකදීපියත්ථෙරස්සාපදානං සත්තමං.
නවමං භාණවාරං.
178. මණි පූජක ථේරාපදානය
2137. “හිමවත මෑත පෙදෙසෙහි (එක්) නදියෙක් (ගලාබසිමින්) පැවතුනේය. එකල්හි එම ගංඉවුර සමීපයෙහි (පදුමුත්තර) බුදුරජාණන් වහන්සේ වැඩ වසන සේක.
2138. “මැනවින් විසිතුරු කරණ ලද මනරම්වූ මිණි පළඟක් ගෙන පහන් සිත් ඇත්තේ සොම්නස්වූයේ බුදුරජුන්හට පිදීමි.
2139. “මින් සිව් අනුවන කපෙහි යම් මිණි පළඟක් පිදූයෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙක මේ විපාකයයි.
2140. “මින් දොළොස්වන කපෙහි මහත් බල ඇති සතරංසි නම්වූ අට සක්විති රජ කෙනෙක් වූහ.
2141. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මණි පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මණිපූජකත්ථෙරස්සාපදානං අට්ඨමං.