164. දෙසපූජක ථේරාපදානය
18. “ලෝකජ්යෙෂ්ඨවූ, නරශ්රේෂ්ඨවූ, අත්ථදස්සී භාග්යවතුන් වහන්සේ අහසට නැගී අහස් මගෙහි වඩින සේක.
19. “මහා මුනිවූ ශාස්තෲන් වහන්සේ යම් දෙසක සිට අහසට නැගුනසේක්ද, මම පහන් සිත් ඇත්තේ සියතින් එදෙසට වඳිමි.
20. “එක් දහස් අට සියවන කපෙහි යම් බුදුවරයන් වහන්සේ නමක් දුටුයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. දිශා පූජාවෙහි මේ විපාකයි.
21. “එක් දහස් එක් සියවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති ගොසුජාත නම් සක්විති රජෙක් වීමි.
22. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් දෙසපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
දෙසපූජකත්ථෙරස්සාපදානං චතුත්ථං.
165. කණිකාරඡදනීය ථේරාපදානය
23. “ලෝකජ්යෙෂ්ඨවූ, නරශ්රේෂ්ඨවූ, සියල්ල මැනවින් දත් වෙස්සභූ සර්වඥ තෙමේ දිවා විහරණය පිණිස මහා වනයට පිවිසි සේක.
24. “එකල්හි මම කිණිහිරි (මල්) නෙලා ඡත්රයක් කොට මල් සෙවනියක් කොට බුදුන්හට පිදීමි.
25. “මින් එක්තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
26. “මින් විසිවෙනි කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති සොණ්ණාහා නම් සක්විති රජෙක් වීමි.
27. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කණිකාරඡදනීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කණිකාරඡත්තියත්ථෙරස්සාපදානං පඤ්චමං.
166. සප්පිදායක ථේරාපදානය
28. “ලෝවැස්සන්ගේ පූජාවන් පිළිගැනීමට සුදුසුවූ, මහාවීරවූ, ඵුස්ස නම් භාග්යවත් තෙමේ මහජනයා (කෙළෙස් ගින්නෙන්) නිවමින් වීථියෙහි වඩින සේක.
29. “පිළිවෙළින් භාග්යවත් තෙමේ මා වෙතට පැමිණි සේක. ඉක්බිති මම පාත්රය පිළිගෙන ගිතෙල් පුරවා දුනිමි.
30. “මින් දෙනූවන කපෙහි වු එකල්හි යම් ගිතෙල් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ගිතෙල් දනෙහි මේ විපාකයයි.
31. “මින් සපණස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සමොදක නම් සක්විති රජෙක් වීමි.
32. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සප්පිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සප්පිදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.
167. යූථිකා පුප්පිය ථේරාපදානය
33. “මම චන්ද්රභාගා ගංතෙර පහළ ගමන් කරමින් එහිදීි පිපුණු සල් රුකක් වැනි බුදුරජුන් දිටිමි.
34. “මම සීනිද්ද මලක් ගෙන මහා මුනිවූ බුදුරජුන් වෙත එළඹියෙමි. පහන් සිත් ඇත්තෝ සොම්නස්වුයේ (එය) බුදුරජුන්හට පිදීමි.