162. කණවෙර පුප්ඵිය ථේරාපදානය
7. “ලෝකජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ, සිද්‍ධාර්ත්‍ථ නම් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් විසින් පිරිවරණ ලදුයේ නගරයට පිළිපන් සේක.
8. “මම එකල්හි රජුගේ සම්මතවූ අන්තඃපුර පාලකයා වීමි. පහයෙහි හුන් මම (එම) ලෝකනායකයන් වහන්සේ දුටිමි.
9. “කණවෙර මල් ගෙන භික්‍ෂු සංඝයා කෙරෙහි ඉස්සෙමි. බුදුරජුන්හට වෙන්කොට ඉන් වඩාත් (එම මල්) විසිරවීමි.
10. “මින් සිව් අනුවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කරණ ලදද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.
11. “මින් සත් අසුවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති මහිද්‍ධික නම් සිව් සක්විති රජ කෙනෙක් වූහ.
12. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කණවෙර පුප්පිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කණවෙරපුප්ඵියත්ථෙරස්සාපදානං දුතියං.
163. ඛජ්ජකදායක ථේරාපදානය
13. “මම පෙර තිස්ස බුදුරජාණන් වහන්සේට පොල්ද (ඛ්‍යාද්‍යසම්මත කැවුම් ආදී) කැවිලිද දුනිමි.
14. “මම මහර්ෂීවූ තිස්ස බුදුරජාණන් වහන්සේට එය දී කැමති දෙයක් කරණ සුළු වූයේ (එසෙම) අභිමත යමක් ලබන්නේ සතුටුවෙමි.
15. “මින් දෙඅනූවන කපෙහිවූ එකල්හි යම් දනක් දුනිම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (නාලිකෙර) පල දානයාගේ මේ විපාකයයි.
16. “මින් තෙළෙස්වන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති ඉන්ද නම් සක්විති රජෙක් විය.
17. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඛජ්ජදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ඛජ්ජකදායකත්ථෙරස්සාපදානං තතියං.
164. දෙසපූජක ථේරාපදානය
18. “ලෝකජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ, අත්‍ථදස්සී භාග්‍යවතුන් වහන්සේ අහසට නැගී අහස් මගෙහි වඩින සේක.
19. “මහා මුනිවූ ශාස්තෲන් වහන්සේ යම් දෙසක සිට අහසට නැගුනසේක්ද, මම පහන් සිත් ඇත්තේ සියතින් එදෙසට වඳිමි.
20. “එක් දහස් අට සියවන කපෙහි යම් බුදුවරයන් වහන්සේ නමක් දුටුයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. දිශා පූජාවෙහි මේ විපාකයි.
21. “එක් දහස් එක් සියවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති ගොසුජාත නම් සක්විති රජෙක් වීමි.
22. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් දෙසපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
දෙසපූජකත්ථෙරස්සාපදානං චතුත්ථං.