144. සපරිවාරිය ථේරාපදානය.
1955. “පස්මරුන් දිනූ, ලෝක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ, පදුමුත්තර බුදුරජ තෙම ගිනි කඳක් මෙන් දිලිසී පිරිනිවන් පානා ලදුයේ විය.
1956. “මහා වීරවූ බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි (උන්වහන්සේගේ ධාතු නිදන් කළ) මහත් සෑයක් විය. අති උතුම් ධාතු ගෘහයෙහි දිව රෑ දෙක්හි උවටැන් කෙරෙත්.
1957. “පහන් සිත් ඇත්තේ, සොම්නස් වූයේ, (එහි) සඳුන් වේදිකාවක් (චේතියඝරයක්) කෙළෙමි. එකල්හි (එය) සෑයට සුදුසු වූයේ, දුම්කඳක් මෙන් පෙනේ.
1958. “දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ භවයෙහි උපදිනා කල්හි මාගේ පහත් බවක් නොදකිමි. පූර්‍ව කර්‍මයාගේ මේ විපාකයයි.
1959. “මින් එක් දහස් පන්සියවන කපෙහි මහත් බල ඇති ඒ සියලු සක්විති රජවරු අට දෙනෙක් වූහ.
1960. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සපරිවාරිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සපරිවාරියත්ථෙරස්සාපදානං චතුත්ථං.
145. උම්මාපුප්ඵිය ථේරාපදානය.
1961. “ලෝවාසීන්ගේ පූජාවන් පිළිගත්තාවූ නොහොත් පූජාවනට ගෙයක් වැනිවූ ලෝකනාථවූ සිද්‍ධාර්ත්‍ථ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි මහා සෑ පූජාවක් විය.
1962. “සිදුහත් බුදුරජුන්ගේ පූජාව පවත්නා කල්හි දියබෙරලිය මල් ගෙන සෑයට පිදීමි.
1963. “මින් සිව්අනූවන කපෙහි යම් මල් පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ස්ථූප පූජාවෙහි මේ විපාකයයි.
1964. “මින් නවවන කපෙහි මහත් බල ඇති සෝමදේව නම්වූ පස් අසූ සක්විති රජකෙනෙක් වූහ.
1965. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උම්මා පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
උමාපුප්ඵියත්ථෙරස්සාපදානං පඤ්චමං.
146. අනුලෙපදායක ථේරාපදානය.
1966. “මම අනොමදස්සී බුදුරජාණන් වහන්සේගේ බෝධියට (පරිමණ්ඩලවූ) වේදිකාවක් කරවීමි. (එසේම) මම සුණු පිඬුදී පිළිසකරද කෙළෙමි.
1967. “ශාස්තෘවූ අනොමදස්සී නරශ්‍රේෂ්ඨ තෙම මැනවින් කරණ ලද එම කර්‍මය දැක භික්‍ෂු සංඝයා මැද හිඳ මෙම ගාථාවන් වදාළ සේක.
1968. “මෙම සුණුකම කරණකොටගෙනද, චිත්තප්‍රණිධිය කරණකොටගෙනද සම්පත් අනුභවකොට දුක් කෙළවර කරන්නේය කියායි.
1969. “පහන්වූ මුහුණු පැහැ ඇත්තේ වීමි. එකඟවූයේ, සන්සුන්වූයේ, සම්බුදු සසුනෙහි අන්තිම ශරීරය දරමි.
1970. “මින් නොඅඩුව කප් සියයක් සම්පුර්‍ණවූ කල්හි මහත් බල ඇති සබ්බඝන නම් සක්විති රජෙක් වීමි.
1971. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අනුලේපදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අනුලෙපදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.
147. මග්ගදායක ථේරාපදානය
1972. “පසැස් අති බුදුරජ තෙම ගඟකින් එතරව වනයට යයි. මම උතුම් ලකුණු ඇති එම සිද්‍ධාර්ත්‍ථ නම් සම්බුදු රජුන් දිටිමි.
1973. “උදැල්ල හා කූඩයද ගෙත ඒ මග සමකොට ශාස්තෲන් වහන්සේ වැඳ, සිත පැහැදවීමි.
1974. “මින් සිව් අනූවන කපෙහිවූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මාර්‍ග ඥානයාගේ මේ විපාකයයි.
1975. “සත් පණස්වන කපෙහි ජනාධිපතිවූ නම්න් සුප්පබුද්‍ධ නම්වූ නරශ්‍රේෂ්ඨ එක් සක්විති රජෙක් වීමි.
1976. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මග්ගදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මග්ගදායකත්ථෙරස්සාපදානං සත්තමං.