142. ථම්භාරොපක ථේරාපදානය.
1945. “ධම්මදස්සී බුදුරජුන් පිරිනිවි කල්හි (එම) බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේගේ චෛත්යයෙහි ධජස්ථම්බයක් (කොඩියක්) නැංවීමි.
1946. “ඉණිමගක් සාදවා උතුම් සෑයට නැගුනෙමි. දෑසමන් මල් ගෙන සෑයට පිදීමි.
1947. “සර්වඥ තෙම ආශ්චර්ය්යයකි. ධර්මය ආශ්චර්ය්යයකි. අපගේ ශාස්තෘ සම්පත්තියද ආශ්චර්ය්යයකි. (එකී පුණ්ය හේතුවෙන්) දුගතියක් නොදනිමි. ථූප පූජාවෙහි මේ විපාකයයි.
1948. “මින් සිව් අනුවන කපෙහි මහත් බල ඇති ථූප සිඛර නම්වූ සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
1949. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ථම්භාරොපක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ථම්භාරොපකත්ථෙරස්සාපදානං දුතියං.
143. වේදිකාරක ථේරාපදානය
1950. “ලෝකනායකවූ පියදස්සී බුදුරජුන් පිරිනිවි කල්හි මම පහන් සිත් ඇත්තේ සොම්නස්වූයේ, මුතු වේදිකාවක් කෙළෙමි.
1951. “මැණික්වලින් පිරිවරකොට උතුම් වේදිකාව කෙළෙමි. මම එම වේදිකාව පිදීමේ උත්සවය කොට එහි කළුරිය කෙළෙමි.
1952. “(ඒ හේතුවෙන්) දිව්යවූ හෝ, මනුෂ්යවූ හෝ යම් යෝනියක උපදිම්ද, අහසෙහි මිණි දරත්. පුණ්ය කර්මයාගේ මේ විපාකයයි.
1953. “මින් එක් දහස් හසියවන කපෙහි මහත් බල ඇති මනිප්පභාස නම් දෙතිස් සක්විති රජ කෙනෙක්වූහ.
1954. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වේදිකාරක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
වෙදිකාරකත්ථෙරස්සාපදානං තතියං.
144. සපරිවාරිය ථේරාපදානය.
1955. “පස්මරුන් දිනූ, ලෝක ජ්යෙෂ්ඨවූ, නරශ්රේෂ්ඨවූ, පදුමුත්තර බුදුරජ තෙම ගිනි කඳක් මෙන් දිලිසී පිරිනිවන් පානා ලදුයේ විය.
1956. “මහා වීරවූ බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි (උන්වහන්සේගේ ධාතු නිදන් කළ) මහත් සෑයක් විය. අති උතුම් ධාතු ගෘහයෙහි දිව රෑ දෙක්හි උවටැන් කෙරෙත්.
1957. “පහන් සිත් ඇත්තේ, සොම්නස් වූයේ, (එහි) සඳුන් වේදිකාවක් (චේතියඝරයක්) කෙළෙමි. එකල්හි (එය) සෑයට සුදුසු වූයේ, දුම්කඳක් මෙන් පෙනේ.
1958. “දිව්යවූ හෝ, මනුෂ්යවූ හෝ භවයෙහි උපදිනා කල්හි මාගේ පහත් බවක් නොදකිමි. පූර්ව කර්මයාගේ මේ විපාකයයි.
1959. “මින් එක් දහස් පන්සියවන කපෙහි මහත් බල ඇති ඒ සියලු සක්විති රජවරු අට දෙනෙක් වූහ.
1960. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සපරිවාරිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සපරිවාරියත්ථෙරස්සාපදානං චතුත්ථං.
145. උම්මාපුප්ඵිය ථේරාපදානය.
1961. “ලෝවාසීන්ගේ පූජාවන් පිළිගත්තාවූ නොහොත් පූජාවනට ගෙයක් වැනිවූ ලෝකනාථවූ සිද්ධාර්ත්ථ භාග්යවතුන් වහන්සේ පිරිනිවි කල්හි මහා සෑ පූජාවක් විය.
1962. “සිදුහත් බුදුරජුන්ගේ පූජාව පවත්නා කල්හි දියබෙරලිය මල් ගෙන සෑයට පිදීමි.