129. ගන්ධපුප්ඵිය ථේරාපදානය.
1856. දක්‍ෂිණාර්‍හවූ, ස්වර්‍ණවර්‍ණවූ, විපස්සී බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් විසින් පිරිවරණ ලදුයේ ආරාමයෙන් නික්මුණු සේක.
1857. මම මොහඳුරු දුරු කරන්නාවූ, සර්‍වඥවූ, බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ දැක, පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, ලද පස් මල් පිදීමි.
1858. විපදෝත්තමවූ, තාදී ගුණ ඇති බුදුරජුන්හට (ඇතිකරගත්) ඒ චිත්ත ප්‍රසාදය කරණකොටගෙණ සතුටුවූයේ, සතුටු සිතින් නැවත තථාගතයන් වැන්දෙමි.
1859. මින් එක්අනූවන කපෙහි යම් මල් පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
1860. මින් එක්සාළිස්වන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති, චරණ නම් සක්විති රජෙක් විය.
1861. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගන්ධපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ගන්ධපුප්ඵියත්ථෙරස්සාපදානං නවමං.
130. පදුම පූජක ථේරාපදානය.
1862. හිමවතට නුදුරු, නා නා වෘක්‍ෂයන්ගෙන් ගැවසීගත්, මහා භූත සමූහයාට වාසස්ථානවූ, ගොතම නම් පර්වතයක් විය.
1863. ඒ මධ්‍යයෙහි නිර්මිත කරණ ලද ආශ්‍රමයක් විය. මම ස්වකීය ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුයේ අසපුවෙහි වෙසෙමි.
1864. මාගේ ශිෂ්‍ය සමූහයෝ පැමිණෙත්වා, මට පියුම් ගෙන එත්වා. විපදෝත්තමවූ තාදී ගුණ ඇති බුදුරජාණන් වහන්සේට පූජා කරන්නෙමු.
1865. ඔවුහු “එසේය” යි මට පිළිවදන් දී, පියුම් ගෙනාවාහුය. එසේම මම (බුදුරජාණන් වහන්සේ) නිමිතිකොට ඒ සර්‍වඥයන් වහන්සේට පිදීමි.
1866. එකල්හි ශිෂ්‍යයන් රැස්කරවා මම මනාකොට අනුශාසනා කෙළෙමි. (කෙසේදයත්) ‘තෙපි පමා නොවව්. අප්‍රමාදව සුව එලවන්නේ වෙයි” (යනුවෙනි.)
1867. වචනක්‍ෂමවූ එම ශිෂ්‍යයනට මෙසේ අනුශාසනා කොට එකල්හි මම අප්‍රමාදී ගුණයෙහි යෙදුනේ, කළුරිය කළේ වෙමි.
1868. මින් එක්අනූවන කපෙහි යම් මල් පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) අගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
1869. එක් පණස්වන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති, ජලුත්තම නම් සක්විති රජ කෙනෙක් වීමි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුම පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පදුමපූජකත්ථෙරස්ස අපදානං දසමං.
උද්දානය:
සෙරෙය්‍යක, පුප්ඵථූපිය, පායාසදායක, ගන්ධොදකිය, සම්මුඛාථවික, කුසුමාසනිය, ඵලදායක, ඤාණසඤ්ඤක, ගන්ධපුප්ඵිය සහ පදුමපූජක යන මේ තෙරවරුන්ගේ ගාථා එකසිය පසක් අර්ථදර්ශීන් විසින් වදාරන ලදී.
සෙරෙය්‍යක වග්ගය තෙළෙස් වැනි ය.
14. සොභිත වග්ග
131. සොභිත ථේරාපදානය
1870. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මහත්වූ ජන සමූහයාට අමෘතපදය, (නිර්‍වාණය) දේශනා කරණ සේක. ලෝක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ,
1871. මම උන්වහන්සේ විසින් වදාරණ ලද උතුම් වචන අසා එකල්හි ඇඳිලි බැඳගෙන එකඟ සිත් ඇත්තේ වීමි. (බුදු නුවණද මෙසේ පැසසීමි. කෙසේදයත්)
1872. යම්සේ මහසයුර ජලාශයනට අග්‍ර වේද, සිනෙරු පර්‍වතය පර්‍වතයනට අග්‍රවේද, එසේම යමෙක් චිත්ත (ඤාණ) වශයෙන් පවතිත් නම් ඔවුහු බුදු නුවණින් කලාවකටද නොපැමිණෙත්. (හැම නුවණකටම වඩා බුදු නුවණ අග්‍රය කියායි.)
1873. (එකල්හි) කාරුණීක ඎෂිවූ බුදුරජාණන් වහන්සේ ධර්‍මයෙහි ක්‍රමය (දහම් දෙසුම) තබා, භික්‍ෂු සංඝයා මැද වැඩ හිඳ, මෙම ගාථාවන් වදාළ සේක.
1874. “ලෝකනායක බුදුරජුන් කෙරෙහිවූ නුවණ යමෙක් (ප්‍රශංසා මුඛයෙන්) පැවසීද, (ඒ හේතුවෙන්) හෙතෙම කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියකට නොයන්නේය.
1875. “එකඟව, සන්සුන්ව, කෙළෙස් දවා නම්න් සෝභිත නම්වූ ශ්‍රාවකයෙක් වන්නේය.”