108. ආසනූපට්ඨාපක ථේරාපදානය
“(මම) අල්ප ශබ්ද ඇති, නිශ්චලවූ මහ වනයට පිවිස, තාදී ගුණ ඇති අත්ථදස්සී බුදුරජාණන් වහන්සේට මා විසින් සිහසුනක් පුදන ලදී.
“මල් මිටක් ගෙන ඒ ශාස්තෲන් වහන්සේ පැදකුණුකොට ඇසුරුද කොට උතුරු දිගට මුහුණලා ගියෙමි.
“වීපදෝත්තමයන් වහන්ස, ලෝක ජ්යෙෂ්ඨයන් වහන්ස, නරශ්රේෂ්ඨයන් වහන්ස, එම (පුණ්ය) කර්මය හේතු කොට ගෙන තමා නිවණට පත් කරමි. සියලු භවයෝ නසන ලදහ.
“එක්දහස් අටසියවන කපෙහිවූ එකල්හි යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සිහසුන් දානයෙහි මේ විපාකයයි.
“මින් සත්සියවෙනි කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති සන්නිබ්බාබපක නම් සක්විති රජෙක් විය.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආසනූපට්ඨාපක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ආසනුපට්ඨාහකත්ථෙරස්සාපදානං අට්ඨමං.
109. බිළාලිදායක ථේරාපදානය
“මම හිමවතට නුදුරු තන්හි පන් ඇතිරියක වසමි. එකල්හි අහරෙහි ගිජු බවට පැමිණයේ (නිරතුරු) සයනය කරන ස්වභාවයද ඇත්තේ වෙමි.
“කලම්බ-බිලාලී තක්කල යන අල වර්ග සාරාගෙන ඩෙබර බදුළු බෙලි යන ගෙඩි කඩා ගෙනවුත් (ආහාර මෙන්) පිළියෙල කරණ ලදී.
“පූජාවන් පිළිගන්නාවූ නොහොත් පූජාවනට ගෙයක් වැනිවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මාගේ අදහස් දැන මා සමීපයට වැඩි සේක.
“(එසේ) සමීපයට එළඹ සිටියාවූ, මහෝත්තමවූ, දෙවියන්ට දෙවිවූ, නරශ්රේෂ්ඨවූ, බුදුරජාණන් වහන්සේ (දැක) බිලාලී අල ගෙන පාත්රයෙහි බැහීමි.
“එකල්හි මහාවීරවූ බුදුරජාණන් වහන්සේ මා සතුටු කරමින් වැළදූ සේක. සර්වඥයන් වහන්සේ වළඳා ඉක්බිති මෙම ගාථාව වදාළ සේක.
“ඔබ සිය සිත පහදවා මට බිලාලි (අල) දුන්නෙහිද, (ඒ හේතුවෙන්) කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දුගතායකට නොපැමිණෙන්නෙහිය.”
“මින් සූපණස්වන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති සුමෙඛලිය නම් සක්විති රජෙක් විය.
“මේ මාගේ අන්තිම භවය වේ. සියළු භවයෝ නසන ලදහ. සම්බුදු සසුනෙහි අන්තිම දේහය දරමි.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බිළාලිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
බිළාලිදායකත්ථෙරස්සාපදානං නවමං.
110. රේණුපූජක ථේරාපදානය
“රන්වන්වූ, සියක් රැස් ඇති හිරු මෙන් වූද, සියලු දිගුන් බබුළුවන පුන්සඳ මෙන්වූද (බුදුරජාණන් වහන්සේ දුටිමි.)
“සයුරුවලින් පිරිවැරූ පොළොව මෙන් සව්වන් විසින් පිරිවරණ ලද විපස්සී බුදුරජාණන් වහන්සේට නාමල් ගෙන (එහි) රේණුවලින් මම පූජා කෙළෙමි.
“මින් එක්අනූවන කපෙහි (යම්) (නාමල්) රොන් පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.