106. උදකපූජක ථේරාපදානය
“මම අහස් මගෙහි වඩින්නාවූ, රන්වන්වූ, ගිනිමෙන් දිලිසෙන, ඇවිලගත් අග්නිය වැනි බුදුරජාණන් වහන්සේ (දුටිමි).
“අතින් දිය ගෙන අහසෙහි උඩට දැමීමි. මහාවීරවූ, කාරුණීක ඎෂිවූ බුදුරජතෙම (එය) පිළිගත් සේක.
“අහසෙහි වැඩ සිටියාවූ පදුමුත්තර නම් ශාස්තෘතෙම මෙම ගාථාව වදාළෝය.
“මෙම ජල දානයෙන්ද, ප්‍රීතිය ඉපදවීමෙන්ද, (මෙතෙම) කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නූපදී. (කියායි.)
“වීපදෝත්තමයන් වහන්ස, ලෝක ජ්‍යෙෂ්ඨයන් වහන්ස, නරශ්‍රේෂඨයන් වහන්ස, එම කර්මය කරණකොටගෙන ජය-පරාජය (දෙක) හැර නිශ්චල ස්ථානය (නිවණට) පැමිණියේ වෙමි.
“සදහස් පන්සියවන කපෙහි සිව්මහ දිවයින හා සිව්මහ සමුදුරු කෙළවරකොට ඇති පොළොවේ අධිපතිවූ ජනශ්‍රේෂඨවූ ඒ සහස්සරාජ නම් සක්විති රජවරු තිදෙනෙක්ද වූහ.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදක පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
උදකපූජකත්ථෙරස්සාපදානං ඡට්ඨං.
107. නළමාලිය ථේරාපදානය
“තාදී ගුණ ඇති, වීපදෝත්තමවූ, ලෝක ජ්‍යෙෂ්ඨවූ, තණ ඇතිරියක වැඩ හුන්නාවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට,
“බට මලක් ගෙන, විජිනියක් (වටාපතක්) බැඳ (මා විසින්) පිළිගැන්වීමි.
“ලෝකනායකවූ බුදුරජාණන් වහන්සේ විජිනිය පිළිගෙන මාගේ අදහස දැන මෙම ගාථාව වදාළ සේක.
“යම්සේ මාගේ සිරුර නිවේද, පරිළාහයක් නොවේද, එසේම ඔබගේ සිත (රාග-ෙවෂ-මෝහ) යන ත්‍රිවිධාග්නියෙන් (නිවේවා) කෙළෙසුන්ගෙන්ද මිදේවා කියායි.
“වනය ඇසුරු කළාවූ යම් කිසි දෙවි කෙනෙක් වූවාහුද, ඒ සියලු දෙවිවරු දායකයාහට දේශනා කරන්නාවූ බුද්‍ධ වචනය අසමුයයි රැස්වූවාහුය.
“එහි දිව්‍ය සමූහයා විසින් පිරිවරණ ලදුව වැඩ හුන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දායකයා සතුටු කරවමින් මෙම ගාථාවන් වදාළ සේක.
“මේ විජිනි දානය කරණකොට ගෙනද, චිත්ත ප්‍රණිධිය කරණකොට ගෙනද, නම්න් සුබ්බත නම්වූ සක්විති රජෙක් වන්නේය.
“කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ, එම කර්මයාගේ ඉතිරි විපාකය වශයෙන් නම්න් මාළුත නම්වූ සක්විති රජෙක් වන්නේය.
“මෙම විජිනි දානය කරණකොට ගෙනද, මහත්වූ සත්කාරය කරණකොටගෙනද, කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නූපදින්නේය, කියායි.
“තිස්දහස්වන කපෙහි ඒ සුබ්බත නම්න් අටතිස් රජකෙනෙක් වූහ. එකුන්තිස් දහස්වන කපෙහි මාළුත නම්න් අට රජ කෙනෙක් වූහ.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නලමාලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
නළමාලියත්ථෙරස්සාපදානං සත්තමං.
සත්තමභාණවාරං නිට්ඨිතං.
108. ආසනූපට්ඨාපක ථේරාපදානය
“(මම) අල්ප ශබ්ද ඇති, නිශ්චලවූ මහ වනයට පිවිස, තාදී ගුණ ඇති අත්‍ථදස්සී බුදුරජාණන් වහන්සේට මා විසින් සිහසුනක් පුදන ලදී.
“මල් මිටක් ගෙන ඒ ශාස්තෲන් වහන්සේ පැදකුණුකොට ඇසුරුද කොට උතුරු දිගට මුහුණලා ගියෙමි.
“වීපදෝත්තමයන් වහන්ස, ලෝක ජ්‍යෙෂ්ඨයන් වහන්ස, නරශ්‍රේෂ්ඨයන් වහන්ස, එම (පුණ්‍ය) කර්මය හේතු කොට ගෙන තමා නිවණට පත් කරමි. සියලු භවයෝ නසන ලදහ.
“එක්දහස් අටසියවන කපෙහිවූ එකල්හි යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සිහසුන් දානයෙහි මේ විපාකයයි.
“මින් සත්සියවෙනි කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති සන්නිබ්බාබපක නම් සක්විති රජෙක් විය.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආසනූපට්ඨාපක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
ආසනුපට්ඨාහකත්ථෙරස්සාපදානං අට්ඨමං.