104. පදපූජක ථේරාපදානය
“මම සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේට සමන් මල් පිදීමි. (උන්වහන්සේගේ) ශ්‍රීපාදයෙහි මේ මල් සතක් සතුටින් විසිරවීමි.
“එම පුණ්‍ය කර්මය කරණකොටගෙන අද දෙව් මිනිසුන් අතරෙහි අතිශයින් බබළමි. සම්බුදු සසුනෙහි අන්තිම ශරීරය දරමි.
“මින් සිව් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.
“මින් පස්වෙනි කපෙහි සිව්මහ දිවයින හා සිව් සයුර කෙළවරකොට ඇති පෘථිවියෙහි අධිපතිවූ, ජනාධිපතිවූ සමන්තගන්‍ධ නම්වූ තෙළෙස් සක්විති රජකෙනෙක් වූහ.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පදපූජකත්ථෙරස්සාපදානං චතුත්ථං.
105. මුට්ඨිපුප්ඵිය ථේරාපදානය
“එකල්හි මම නම්න් සුදස්සන නම්වූ මල් කරුවෙක්වීමි. ලෝක ජ්‍යෙෂ්ඨවූ, නර ශ්‍රේෂ්ඨවූ, පහවූ කෙළෙස් මල ඇති බුදුරජාණන් වහන්සේ දුටිමි.
“(මම) දෑසමන් මල් ගෙන පදුමුත්තර බුදුරජාණන් වහන්සේට පිදීමි. (ඒ හේතුවෙන්) පිරිසිදු ඇස් ඇත්තේ, සොම්නස්වූයේ, දිවැසද ලැබීමි.
“මම මේ පුෂ්ප පූජාව කරණකොට ගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොට ගෙනද කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නීපදුනෙමි.
“මින් සතිස්වන කපෙහි මහත් බල ඇති දෙවුත්තර නම්වූ සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මුට්ඨිපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
මුට්ඨිපුප්ඵියත්ථෙරස්සාපදානං පඤ්චමං.
106. උදකපූජක ථේරාපදානය
“මම අහස් මගෙහි වඩින්නාවූ, රන්වන්වූ, ගිනිමෙන් දිලිසෙන, ඇවිලගත් අග්නිය වැනි බුදුරජාණන් වහන්සේ (දුටිමි).
“අතින් දිය ගෙන අහසෙහි උඩට දැමීමි. මහාවීරවූ, කාරුණීක ඎෂිවූ බුදුරජතෙම (එය) පිළිගත් සේක.
“අහසෙහි වැඩ සිටියාවූ පදුමුත්තර නම් ශාස්තෘතෙම මෙම ගාථාව වදාළෝය.
“මෙම ජල දානයෙන්ද, ප්‍රීතිය ඉපදවීමෙන්ද, (මෙතෙම) කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නූපදී. (කියායි.)
“වීපදෝත්තමයන් වහන්ස, ලෝක ජ්‍යෙෂ්ඨයන් වහන්ස, නරශ්‍රේෂඨයන් වහන්ස, එම කර්මය කරණකොටගෙන ජය-පරාජය (දෙක) හැර නිශ්චල ස්ථානය (නිවණට) පැමිණියේ වෙමි.
“සදහස් පන්සියවන කපෙහි සිව්මහ දිවයින හා සිව්මහ සමුදුරු කෙළවරකොට ඇති පොළොවේ අධිපතිවූ ජනශ්‍රේෂඨවූ ඒ සහස්සරාජ නම් සක්විති රජවරු තිදෙනෙක්ද වූහ.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදක පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
උදකපූජකත්ථෙරස්සාපදානං ඡට්ඨං.
107. නළමාලිය ථේරාපදානය
“තාදී ගුණ ඇති, වීපදෝත්තමවූ, ලෝක ජ්‍යෙෂ්ඨවූ, තණ ඇතිරියක වැඩ හුන්නාවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට,
“බට මලක් ගෙන, විජිනියක් (වටාපතක්) බැඳ (මා විසින්) පිළිගැන්වීමි.
“ලෝකනායකවූ බුදුරජාණන් වහන්සේ විජිනිය පිළිගෙන මාගේ අදහස දැන මෙම ගාථාව වදාළ සේක.
“යම්සේ මාගේ සිරුර නිවේද, පරිළාහයක් නොවේද, එසේම ඔබගේ සිත (රාග-ෙවෂ-මෝහ) යන ත්‍රිවිධාග්නියෙන් (නිවේවා) කෙළෙසුන්ගෙන්ද මිදේවා කියායි.
“වනය ඇසුරු කළාවූ යම් කිසි දෙවි කෙනෙක් වූවාහුද, ඒ සියලු දෙවිවරු දායකයාහට දේශනා කරන්නාවූ බුද්‍ධ වචනය අසමුයයි රැස්වූවාහුය.
“එහි දිව්‍ය සමූහයා විසින් පිරිවරණ ලදුව වැඩ හුන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දායකයා සතුටු කරවමින් මෙම ගාථාවන් වදාළ සේක.