6. උපාළි ස්ථවිරාපදානය
446. හංසවතී නගරයෙහි රැස්කොට තැබූ අසූකෙළක් ධනය ඇති, සමෘද්ධවූ ධන ධාන්‍ය ඇති, සුජාත නම් බමුණෙක් විය.
447. හෙතෙම වේද හදාරවන්නාවූ, මන්ත්‍රධරවූ, වේදත්‍රයෙහි පරතෙරට ගියාවූ (අත් පා ආදියෙහි ලකුණු බලා අනාගතය පවසන) ලක්ෂණ ශාස්ත්‍රයෙහිද, ඉතිහාසයෙහිද, ස්වකීය බ්‍රාහ්මණ ධර්මයෙහිද පරතෙරට ගියාවූයේය.
448. “එකසිඛ (හිසැ එක් සිළුවක් ඇති) පරිබ්‍රාජකයෝද, (මතු ලොව පහළවන) ගෞතම බුදුරජාණන් වහන්සේගේ (අනාගත) ශ්‍රාවකයෝද, (තැනින් තැන හැසිරෙන්නාවූ) චරක තවුසෝද, එකල්හි පොළොවෙහි හැසිරෙත්.
449. “ඔවුහුද ප්‍රසිද්ධ බ්‍රාහ්මණයෙකුයි කියා මා පිරිවරත්. බොහෝ දෙනා මා අදහත්. මම කිසිවෙකුට නොපුදමි.
450. “යම්තාක් කල් තථාගතයන් වහන්සේ ලොව පහළ නොවන සේක්ද, ඒ තාක් කල් බුද්ධ යන වචනය පවා (ලෙව්හි) නැත. එකල්හි මම මානයෙන් තදවූයේ පිදිය යුත්තෙක් නොදකිමි.
451. “රෑ දාවල් (බොහෝ අවුරුදු) ගෙවී යාමෙන් (පසු) පසැස් ඇති පදුමුත්තර නම් ලෝක නායක බුදුරජ තෙම සායලු අඳුරු දුරුකොට ලොව පහළවිය.
452. “පැතුරුණු බොහෝ දෙනා විසින් මැනවැයි සම්මතයෙන්වූ (බුදු) සසුනෙහි (ආදී කතෘවූ) බුදුරජ තෙම එකල්හි හංසවතී නගරයට එළඹි සේක.
453. “පසැස් ඇත්තාවූ ඒ බුදුරජාණන් වහන්සේ පියාණන්ටත් වැඩ පිණිස ධර්ම දේශනා කළ සේක. එකල්හි පිරිසද හාත්පස යොදුනක් (තන්හි පැතුරුණේ) විය.
454. “මිනිසුන් අතර සුනන්ද නම්න් සම්මතවූයේ ඒ තවුස් තෙමේ එකල්හි යම්තාක් බුදු පිරිසද (ඒතාක් තැන) මල්වලින් වැසීය.
455. “පුෂ්ප මණ්ඩපයෙහි සිට බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ චතුස්සත්‍යය දේශනා කරණ කල්හි කෙළ ලක්ෂයක් (ප්‍රාණීන්) ට ධර්මාභිසමය විය.
456. “බුදු රජ තෙම දිව රෑ සතක් (සතිසක්) උතුම් දහම් වැසි වස්වා අටවෙනි දිනය පැමිණි කල්හි බුදු රජ තෙම සුනන්දට මෙසේ පැවසූ සේක.
457. “මෙතෙම සසරෙහි දෙව්ලොවෙහිද මනුෂ්‍යයන් අතරෙහිද සැරිසරන්නේ භවයන්හිදී සියල්ලන්ට උතුම්ව සැරිසරයි.
458. “කල්ප ලක්ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි ජනිතවන ගෝත්‍රයෙන් ගෞතම නම්වූ ශාක්‍යයන් වහන්සේ ලොව පහළවන සේක.
459. “ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට දායාද (ධර්මයට කොටස් කරුවෙක්) වූ ඖරස පුත්‍රවූ (දහම් අසා සෝවාන් ආදී මාර්ග ඵල පිළිවෙළින් රහත්වූයේ බුදු රජුන්ගේ ඖරස පුත්‍රයායි.) ධර්මයෙන්ම මවාලුවාක් වැනිවූ පුණ්ණමත්තානිපුත්ත නම් ශ්‍රාවකයෙක් වන්නේය.”
460. “එකල්හි සම්බුදු රජ තෙම සියලු දෙනා සතුටු කරමින් ස්වකීය බලයද දක්වමින් සුනන්ද තවුසාට මෙසේ පැවසූ සේක.
461. “ජනයෝ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පුණ්‍ය කර්ම කොට තමාගේ ගතිය පිරිසිදු කෙළේයයි සුනන්ද තවුසාට කරණ ලද ඇඳිලි ඇත්තාහු නමස්කාර කෙරෙත්.
462. “බුදුරජාණන් වහන්සේගේ වචනය අසා එහි මාගේද අදහස විය. ගෞතම බුදුරජාණන් වහන්සේ යම් පින්කමක් කිරීමෙන් දැකිය හැකි වෙම් නම් මමද (එබඳු) පින්කමක් කරන්නෙමි.
463. “මම මෙසේ සිතා මාගේ (ඒ සඳහා) කටයුතු (පින්කම්) ගැනද සිතීමි. නිරුත්තර පුණ්‍යක්‍ෂෙත්‍රයෙහි (රත්නත්‍රයෙහි) මම කවර පින්කමක හැසිරෙම්ද?
464. “(සරභඤ්ඤ වශයෙන් ග්රන්ථයන් කියවන හෙයින්) පාඨික නම්වූ මේ භික්ෂු තෙම බුද්ධ ශාසනයෙහි සියලු මධුර ස්වර පාඨකයන් අතුරෙහිද විනයෙහිද අග්‍රස්ථානය තබන ලදී. මම ඒ තනතුර පතමි.
465. “මෙය මාගේ සයුර මෙන් නොකැළඹෙන අප්‍රමාණවූ භෝගයයි. මම ඒ ධනයෙන් බුදුරජාණන් වහන්සේට ආරාමයක් කරවන්නෙමි.
466. “නගරයාගේ නැගෙනහිර දිගෙහි සෝභන නම්වූ අරමකි. (එය) ලක්ෂයක් මිළට ගෙණ සංඝාරාමයක් කරවීමි.
467. “කුළු ගෙවල්ද, ප්‍රාසාදයන්ද, මණ්ඩපයන්ද, සඳළු පන්නා කළ ගෙවල්ද, දොර නොලූ ගුහාවන්ද, සක්මන් මළුද මැනවින් කොට සංඝාරාමයක් කරවීමි.
468. “ඩහගන්වන ගෙයද, ගිනිහලද, යලි පැන්හළද, නහන ගෙයද කොට මම සංඝයාට දුනිමි.
469. “දික්හඟලා පුටුද, (කුඩා) පුටුද, පරිභෝග භාජනද, ආරාමිකයන්ට දෙන බෙහෙත්ද යන මේ සියල්ල මම දුනිමි.
470. “සන්සුන් සිත් ඇති තාදී ගුණ ඇත්තාවුන්ගේ ඒ ගුණයනට කිසිවෙක් පීඩා නොකෙරේවායි ආරක්ෂා තබවා දැඩිකොට පවුරක් කරවීමි.
471. “ලක්ෂයන් ධන වියදමින් සංඝාරාමයෙහි ආවාසයක් කරවීමි. එය උසස් බවට පමුණුවා බුදුරජාණන් වහන්සේට පිරිනැමීමි.
472. “මා විසින් ආරාමය කොට නිමවන ලදී. තථාගතයාණන් වහන්ස, ඔබ වන්සේ මෙය පිළිගත මැනවි. වීරයාණන් වහන්ස, (මෙය) ඔබ වහන්සේට දෙන්නෙමි. පසැස් ඇත්තාණන් වහන්ස, (මෙය) පිළිගත මැනවි.”
473. “පූජා සත්කාරයන් පිළිගැනීමට සුදුසුවූ, ලෝක නායකවූ, පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මාගේ අදහස දැන (එය) ඉවසූ සේක.
474. “මහර්ෂීවූ සර්වඥයන් වහන්සේ (ආරාධනය) ඉවසීම දැන මම භෝජනය පිළියෙළ කරවා (සුදුසු කාලයයි) කාලය ආරෝචනය කෙළෙමි.
475. “කාලය දැන්වූ කල්හි පදුමුත්තර ලෝක නායකයන් වහන්සේ රහතුන් වහන්සේ දහසක් විසින් පිරිවරණ ලදුයේ තමාගේ ආරාමයට වැඩි සේක.
476. “සුදුසු කාලය දැන වැඩ හුන්නාවූ උන්වහන්සේ ආහාරපානයෙන් තෘප්ත කෙළෙමි. සුදුසු කලැයි දැන වළදා අවසන්වූ උන්වහන්සේට මෙය වචනය කීමි: