9. ඛදිරවනිය රෙවත ථේරාපදානය
637. “හිමවතින් හටගත් භාගීරථි නම් ගංගාවක් තොමෝ වූවාය. මම (එහි) (සැඩ රළ වේගයෙන් යුත්) විෂම තීර්ථයක (කෙවුල් කුලයෙහි උපන්නාවූ) නැවියෙක් වීමි.
638. “පදුමුත්තර බුදුරජතෙම රහතුන් දහසක් සමග ගංගාවෙහි සැඩ පහර තරණය කරන්නේයයි පෙර මාගේ ඇසීම විය.
639. “බොහෝ නැව් එකතට පමුණුවා (නැව් දෙක දෙක එක්කොට තැනූ) නැවෙහි වඩුවන් ලවා මැනවින් පියසි කොට බුදුරජාණන් වහන්සේ පිදීමි.
640. “බුදුරදතෙම පැමිණි එම උතුම් නැවට නැංගේය. (නැව් නැගී) දිය මැද සිටියාවූ බුදුරජාණන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
641. “යමෙක් තෙම සම්‍යක් සම්බුදු රජද, ආශ්‍රව රහිතවූ (රහත්) සංඝයාද තරණය කරවී නම් හෙතම එම චිත්ත ප්‍රසාදය කරණකොටගෙන දෙව් ලොවෙහි සිත් අලවා වාසය කරන්නේය.
642. “ඔබහට මැනවින් කළ නැවෙහි සටහන් ඇති විමානයක් (දෙව්ලොව) පහළ වන්නේය. හැම කල්හි අහසෙහි මල් වියනක්ද දරන්නේය.
643. “(මින්) අට පණස් කපකින් මත්තෙහි සතර මහා දිවයිනට අධිපතිවූ, දිනනසුළුවූ, තාරක නම් සක්විති රජෙක් වන්නේය.
644. “(මින්) සත් පණස්වන කපෙහි මහ බල ඇති චම්පක නම් ක්‍ෂත්‍රිය තෙමේ උදාවන්නාවු හිරු මෙන් බබලන්නේය.
645. “කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ ගොත්‍රයෙන් ගෞතම නම් වන්නාවූ ශාස්තෲන් වහන්සේ ලොව පහළවන සේක.
646. “හෙතෙම (එකල) දෙව්ලොවින් චුතව මිනිසත් බවට යන්නේය. නම්න් රේවතවූ බමුණෙක්ද වන්නේය.
647. “කුශල මූලයන්ගෙන් මෙහෙයන ලදුයේ ගිහිගෙන් නික්ම ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි පැවිදි වන්නේය.
648. “පැවිදිව පසුව හෙතෙම භවනායෝගයන්හි යෙදුනේ, විදර්‍ශනා කරන්නේ, සියලු ආශ්‍රවයන් (ප්‍රහාණ පරිඥාවෙන්) දැන, ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය.”
649. “නිවාණ සංඛ්‍යාත යොග ක්‍ෂෙමයට පමුණුවන ධුරවාහකයා (ගැල්බර උසුලන ගවයා) මෙන් මාගේ වීර්‍ය්‍යය වෙයි. (මම මේ) සර්‍වඥ ශාසනයෙහි අන්තිම ශරීරය දරමි. (අන්තිම ආත්මයයි.)
650. “මා විසින් කල්ප ලක්‍ෂයකට පෙර කරණ ලද කර්‍මය මෙහිදී විපාක දැක්වීය. දුනුදියෙහි මැනවින් මිදුණු හී වේගය මෙන් (එම කර්‍මය) මාගේ කෙළෙස් දැවීය.
651. “ඉක්බිති ලෝකාන්තයට ගිය මහ නුවණැති බුදුරජාණන් වහන්සේ වන සෙනසුනෙහි ඇළුනාවූ මා දැක වනවාසී භික්‍ෂූන් අතුරෙන් අගතන්හි තබා වදාළ සේක.
652. “මේ සිවි පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී”
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඛදිර වනිය රේවත තෙරුන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
ඛදිරවනිය රෙවත ථේරාපදානය නවවැනියි.
10. ආනන්‍ද ථේරාපදානය
653. “පදුමුත්තර බුදුරජතෙම අරම් දොරින් නික්ම අමා වැසි වස්වන්නේ මහාජනයා සන්සිඳවීය. (නිවණට පැමිණවීය.)
654. “ෂඩභිඥා ඇත්තාවූද, මහා ඎද්‍ධි ඇත්තාවූද, ලක්‍ෂයක් පමණවූ ඒ ක්‍ෂීණාශ්‍රවයෝ සෙවනැල්ලක් මෙන් සර්‍වඥයන් වහන්සේ පිරිවරත්.
655. “උතුම් සේසත (මාගේ මස්තකයෙහි දරන්නේ) ඇතුපිට හුන්නේ වෙමි. මනොඥවූ රූප ඇති බුදුරජාණන් වහන්සේ දැක මට ප්‍රීතිය උපන්නේය.
656. “ඇතුපිටින් බැස නර ශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹියෙමි. මාගේ රුවන් මුවා ඡත්‍රය බුද්ධ ශ්‍රේෂඨයන් වහන්සේට දැරීමි.
657. “පදුමුත්තර මහර්ෂී (බුදුරජ) තෙම මාගේ අදහස දැන, එම (තමන් වහන්සේගේ දේශනා) කථාව හැර මෙම ගාථාවන් වදාළෝය.
658. “ඒ යමෙක් ස්වර්‍ණාලංකාරයන්ගෙන් සරසන ලද ඡත්‍රයක් දැරීද, ඔහු (පිළිබඳව) ප්‍රකාශ කරන්නෙමි. (එසේ) පවසන්නාවූ මාගේ (වචනය) අසව්.
659. “මේ පුරුෂ තෙම මින් (චුතව) ගොස් තුසිතයෙහි වසන්නේය. දිව්‍යප්සරාවන් විසින් පිරිවරණ ලදුයේ සම්පත් අනුභව කරන්නේය.
660. “සූතිස් වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය. (ඉන් චුතව) සිව්රඟ සෙනගට අධිපතිව එකසිය අට වරක් (පෘථිවීස්වරව) පොළොවෙහි වාසය කරන්නේය.
661. “අට පණස් වරක් සක්විති රජ වන්නේය. පෘථිවියෙහි මහත්වූ ප්‍රදේශ රාජ්‍යය කරවන්නේය.
662. “කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ ගෝත්‍රයෙන් ගෞතම නම්වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළවන සේක.
663. “ශාක්‍ය කුලයට ධජයක් වැනිවූ බුදුරජාණන් වහන්සේගේ ඤාතීවූ මහර්ෂීන් (බුදුන්) වහන්සේගේ උපස්ථායකවූ නම්න් ආනන්‍ද නම් වන්නේය.
664. “කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇති, ප්‍රඥාවත්වූ, බහුශ්‍රුත භාවයෙහි දක්‍ෂවූ, නිහතමානී පැවතුම් ඇති, තද ගති නැති, සියල්ලන් හදාරවන (ත්‍රිපිටකධර) කෙනෙක් වන්නේය.
665. “වීර්‍ය්‍ය කිරීමෙහි මෙහෙයන ලද සිතැති හෙතෙම, උපශාන්ත වූයේ, උපධි රහිත වූයේ, සියලු ආශ්‍රවයන් (ප්‍රහාණ පරිඥාවෙන්) දැන, ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය”.
666. “(යම් සේ) අරණෙහි උපතින් සැට වසක් ඉක්ම ගිය, ත්‍රිමදගලිත, මාතංග හස්ති කුලයෙහි ජාතවූ, මහත් දළ ඇති, රාජ වාහනවූ, ඇත්තු වෙද්ද,
667. “එසේම නොයෙක් ලක්‍ෂ ගණන් පණ්ඩිතවූද, මහා ඎද්‍ධිමත්වූද, රහත් නාගයෝ වෙත්. සියල්ලෝ බුද්ධ නාගයන් වහන්සේගේ ලක්‍ෂණය ගත් අය නොවෙති.