9.
පොට්ඨපාද සූත්රය
1. මා විසින් මෙසේ අසනලදී: එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඩු සිටුහුගේ ආරාමයෙහි වැඩවසති. එකල්හි පොට්ඨපාද නම් පරිබ්රාජක තෙම සමයප්පවාදක නම්වූ තින්දුකාචීර (තිඹිරිගස් වලින් වටවූ) එකසාලක නම්වූ මල්ලිකා ආරාමයෙහි තුන් දහසක් පමණවූ මහත් පරිබ්රාජක පිරිස සමග වාසය කෙරෙයි.
2. එකල්හි භාග්යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳපෙරව පාත්ර සිවුරු ගෙන සැවැත් නුවරට පිණ්ඩපාතය පිණිස පිවිසියහ. එවිට භාග්යවතුන් වහන්සේට මෙවැනි සිතක් පහළවිය: 'සැවැත් නුවර පිණ්ඩපාතය පිණිස හැසිරීමට තවම කල් වැඩිවෙයි. එබැවින් මම සමයප්පවාදක නම්වූ තින්දුකාචීර නම්වූ එකසාලක නම්වූ මල්ලිකා ආරාමය යම් තැනෙක්හිද පොට්ඨපාද පරිබ්රාජක තෙම යම් තැනෙක්හිද එතැනට එළඹෙන්නෙම් නම් යහපතැ'යි කියායි. එවිට භාග්යවතුන් වහන්සේ සමයප්පවාදක නම්වූ තින්දුකාචීර නම්වූ එකසාලක නම් වූ මල්ලිකා ආරාමය යම් තැනෙක්හිද එතැනට වැඩිසේක.
3. එකල්හි වනාහි පොට්ඨපාද පරිබ්රාජක තෙම මහත් පරිබ්රාජක පිරිසක් සමග උස් හඬින් මහ හඬින් ඝෝෂා කරමින් නොයෙක් තිරශ්චීන කථා (පහත් කථා) කියමින් හුන්නේ වෙයි. එනම්:- රජ දරුවන් ගැන කථාය, සොරුන් ගැන කථාය, මහ ඇමැතියන් ගැන කථාය, සේනා ගැන කථාය, භය ඇති කරන කථාය, යුද්ධ ගැන කථාය, ආහාර ගැන කථාය, පාන වර්ග ගැන කථාය, ඇඳුම් ගැන කථාය, ඇඳන් ගැන කථාය, මල් ගැන කථාය, සුවඳ ගැන කථාය, නෑදෑයින් ගැන කථාය, යාන ගැන කථාය, ගම් ගැන කථාය, නියම් ගම් ගැන කථාය, නගර ගැන කථාය, ජනපද ගැන කථාය, ස්ත්රීන් ගැන කථාය, පුරුෂයන් ගැන කථාය, ශූරයන් ගැන කථාය, වීථි ගැන කථාය, ජල තොටුපළවල් ගැන කථාය, මළ නෑයන් ගැන කථාය, නානාත්ව (විවිධ) කථාය, ලෝකය ගැන කථාය, මුහුදු ගැන කථාය, මෙසේ දියුණුව වෙයි මෙසේ පිරිහීම වෙයි යනාදීන් පවතින කථායයි.
4. පොට්ඨපාද පරිබ්රාජක තෙම දුරදීම වඩින්නාවූ භාග්යවතුන් වහන්සේ දුටුයේය. දැක ස්වකීය පිරිස නිශ්ශබ්ද කළේය: “භවත්නි, අල්ප ශබ්ද ඇත්තෝ වව්, භවත්නි, ශබ්ද නොකරව්, මේ ශ්රමණ ගෞතම තෙම එයි. ඒ ආයුෂ්මත් තෙම අල්ප ශබ්දයට කැමතිය, අල්ප ශබ්දයාගේ ගුණ කියයි. අප පිරිස ශබ්ද රහිත බව දැන පැමිණිය යුතු යැයි සිතන්නේ නම් යහපතැ”යි. මෙසේ කී කල්හි ඒ පරිබ්රාජකයෝ නිශ්ශබ්ද වූහ. එවිට භාග්යවතුන් වහන්සේ පොට්ඨපාද පරිබ්රාජක තෙම යම් තැනෙක්හිද එතැනට එළඹි සේක. එකල්හි පොට්ඨපාද පරිබ්රාජක තෙම භාග්යවතුන් වහන්සේට මෙසේ කීවේය: “ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, එනු මැනව. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේගේ පැමිණීම යහපත්ය (ස්වාගතං). භාග්යවතුන් වහන්සේ මේ පැමිණීම පිණිස බොහෝ කලකින් මේ පරියාය කළ සේක (බොහෝ කලකින් මෙහි වැඩියහ). ස්වාමීනි භාග්යවතුන් වහන්ස, වැඩහිඳිනා සේක්වා. මේ ආසනය පණවන ලද්දේය.” භාග්යවතුන් වහන්සේ පණවන ලද ආසනයෙහි වැඩහුන් සේක. පොට්ඨපාද පරිබ්රාජක තෙමේද එක්තරා පහත් ආසනයක් ගෙන එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන් පොට්ඨපාද පරිබ්රාජකයාගෙන් භාග්යවතුන් වහන්සේ මෙසේ විචාළ සේක: “පොට්ඨපාදය, දැන් මෙහි කවර කථාවකින් යුක්තව හුන්නාහුද? අතරමග නතර කළේ කවර නම් කථාවක්ද?”
5. මෙසේ වදාළ කල්හි පොට්ඨපාද පරිබ්රාජක තෙම භාග්යවතුන් වහන්සේට මෙසේ පැවසීය: “ස්වාමීනි, අපි දැන් යම් කථාවකින් යුක්තව හුන්නමෝද, ඒ කථාව තිබේවා. ස්වාමීනි, ඒ කථාව භාග්යවතුන් වහන්සේට පසුවත් අසනු පිණිස දුර්ලභ නොවේ. ස්වාමීනි, පෙර දිනවලටත් වඩා පෙර දිනවල නොයෙක් තීර්ථකයන් හා මහණ බමුණන් කුතූහල ශාලාවක රැස්ව හුන්නවුන් අතර ‘භවත්නි, උසස් සංඥාවගේ නිරෝධය (අභිසඤ්ඤානිරෝධය) කෙසේ නම් වේදැ’යි අභිසඤ්ඤානිරෝධය පිළිබඳ කථාවක් පහළවිය.”
(1) එහි ඇතැම් කෙනෙක් මෙසේ කීහ: ‘හේතුවක් නැතිව ප්රත්යයක් නැතිව පුරුෂයාගේ සංඥාවෝ උපදින්නාහුද නිරුද්ධ වන්නාහුද වෙත්. යම් කලක සංඥාවෝ උපදින්නාහුද එකල සංඥී (සංඥා ඇත්තේ) වෙයි. යම් කලක නිරුද්ධ වන්නාහුද එකල අසංඥී (සංඥා නැත්තේ) වෙයි’ කියායි. මෙසේ සමහරු අභිසඤ්ඤානිරෝධය පනවත්.
(2) එයට වෙනත් අයෙක් මෙසේ කීවේය: ‘භවත්නි, මෙය එසේ නොවන්නේය. භවත්නි, සංඥාව වනාහි පුරුෂයාගේ ආත්මය වෙයි. ඒ ආත්මය එළඹෙයිද (ඇතුළු වෙයිද) ඉවත් වෙයිද (පිට වෙයිද). යම් කලක එළඹෙයිද, එකල සංඥී වෙයි. යම් කලක ඉවත් වෙයිද, එකල අසංඥී වෙයි’ කියායි. මෙසේ සමහරු අභිසඤ්ඤානිරෝධය පනවත්.
(3) එයට වෙනත් අයෙක් මෙසේ කීවේය: ‘භවත්නි, මෙය එසේ නොවන්නේය. භවත්නි, මහත් ඍද්ධි ඇති මහානුභාව ඇති මහණ බමුණෝ සිටිති. ඔවුහු මේ පුරුෂයාගේ සංඥාව (තමා වෙත) අදිත් (ඇතුළු කරත්), ඉවත් කරත්. යම් කලක අදිත්ද, එකල සංඥී වෙයි. යම් කලක ඉවත් කරත්ද (අපකඩ්ඪන්ති), එකල අසංඥී වෙයි’ කියායි. මෙසේ සමහරු අභිසඤ්ඤානිරෝධය පනවත්.
(4) එයට වෙනත් අයෙක් මෙසේ කීවේය: ‘භවත්නි, මෙය එසේ නොවන්නේය. භවත්නි, මහත් ඍද්ධි ඇති මහානුභාව ඇති දේවතාවෝ සිටිති. ඔවුහු මේ පුරුෂයාගේ සංඥාව (තමා වෙත) අදිත්, ඉවත් කරත්. යම් කලක අදිත්ද, එකල සංඥී වෙයි. යම් කලක ඉවත් කරත්ද, එකල අසංඥී වෙයි’ කියායි. මෙසේ සමහරු අභිසඤ්ඤානිරෝධය පනවත්.
6. ‘මේ ධර්මයන්හි යමෙක් මනා කොට දක්ෂද ඔහු ඒකාන්තයෙන් භාග්යවත්ය, ඒකාන්තයෙන් සුගතය’ කියා මට භාග්යවතුන් වහන්සේම අරමුණු කොට සිහිය උපන. භාග්යවතුන් වහන්සේ අභිසඤ්ඤානිරෝධයෙහි දක්ෂය, භාග්යවතුන් වහන්සේ (ඒ පිළිබඳ) තත්ත්වය දන්නා සේක. ස්වාමීනි, කෙසේ නම් අභිසඤ්ඤානිරෝධය වේද?”