10.
සුභ සූත්‍රය
1. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පා නොබෝකලක් වූ කල ආයුෂ්මත් ආනන්දතෙරුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඩු මහසිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරයි. එකල තොදෙය්‍ය බ්‍රාහ්මණයාගේ පුත්‍රවූ සුභ තරුණයා යම් කටයුත්තක් සඳහා සැවැත් නුවර වාසය කෙරෙයි.
2. එවිට තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයා එක්තරා තරුණයෙක් තමා ඉදිරියට කැඳවූයේය. “තරුණයා, මෙහෙ එන්න, ඔබ ශ්‍රමණ ආනන්ද තෙරුන්වහන්සේ යම් තැනකද එතැනට පැමිණෙව, උන්වහන්සේ ඉදිරියට පැමිණ, ‘තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයා පින්වත්වූ ආනන්ද තෙරුන් වහන්සේ දුක් නැතුව නිරෝගීව, සැහැල්ලු පැවතුම් ඇතුව ශරීරබල ඇතුව, සැප පහසු ඇතුව වෙසේදැයි අසන්නේයයි මාගේ වචනයෙන් ශ්‍රමණ ආනන්ද තෙරුන් වහන්සේ දුකක් නැතිව, නිරෝගීව, සැහැල්ලු පැවතුම් ඇතුව, ශරීර බල ඇතුව, සැප පහසු ඇතුව වෙසේදැයි අසව්, මෙසේද කියව්. “පින්වත් ආනන්ද තෙරුන්වහන්සේ තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයාගේ නිවස යම් තැනකද අනුකම්පාකොට එතැනට පැමිණෙතු” යි කියායි.
3. ඒ තරුණයා, “පින්වත එසේය”යි කියා තොදෙය්‍ය පුත්‍රවූ සුභ නම් තරුණයාගේ වචන පිළිගෙණ, ආයුෂ්මත් ආනන්ද තෙරුන්වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. එසේ පැමිණ ආයුෂ්මත් ආනන්ද තෙරුන්වහන්සේ සමග සතුටු වූයේය. සතුටු වියයුතුවූද සිහිකටයුතු වූද කථාව කොට නිමවා එක පැත්තකටවී උන්නේය. එක පැත්තකටව උන්නාවූ ඒ තරුණයා ආයුෂ්මත් ආනන්ද තෙරුන්වහන්සේට මේ කාරණය කීයේය: “තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයා පින්වත්වූ ආනන්ද තෙරුන්වහන්සේ දුක් නැතුව, නිරෝගීව, සැහැල්ලු පැවතුම් ඇතුව, ශරීර බල ඇතුව, සැප පහසු ඇතුව වෙසේදැයි අසයි, මෙසේද කියයි. ‘ආනන්ද තෙරුන් වහන්සේ තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයාගේ නිවස යම් තැනකද අනුකම්පාකොට එතැනට පැමිණෙත් නම් ඉතා යහපති’.”
4. මෙසේ කී කල ආයුෂ්මත් ආනන්ද තෙරුන්වහන්සේ ඔහුට මෙසේ කීයේය. “තරුණය, මෙය කාලය නොවෙයි. මා විසින් අද සුලු බෙහෙතක් බොන ලද්දේය. පැමිණිය යුතු කල් වේලා නුවණින් සලකාගෙණ හෙටවත් පැමිණෙම් නම් යහපතැ”යි කීයේය. එකල ඒ තරුණයා, “පින්වතුන් වහන්ස, එසේය”යි කියා ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේගේ වචන පිළිගෙණ ආසනයෙන් නැගිට තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයා යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ තොදෙය්‍ය පුත්‍රවූ සුභ නම් තරුණයාට මෙසේ කීයේය. “අපි පින්වත්හුගේ වචනයෙන් ආනන්ද තෙරුන් වහන්සේට මෙසේ කීවෙමු: ‘තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයා පින්වත්වූ ආනන්ද තෙරුන් වහන්සේ දුක් නැතුව, නිරෝගීව, සැහැල්ලු පැවතම් ඇතුව, ශරීර බල ඇතුව, සැප පහසු ඇතුව වෙසේදැයි අසයි. ආනන්ද තෙරුන් වහන්සේ තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයාගේ නිවස යම් තැනෙකද අනුකම්පා කොට එතැනට පැමිණෙත් නම් ඉතා යහපති’ යි. මෙසේ කීකල ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ මට මෙසේ කීයේය. ‘තරුණය, මෙය කාලය නොවෙයි. මා විසින් අද බෙහෙත් ස්වල්පයක් බොනලද්දේය. පැමිණිය යුතු කල්වේලා නුවණින් සලකාගෙන හෙටවත් පැමිණෙම් නම් යහපතැයි’. යම් හේතුවකින් පින්වත් ආනන්ද තෙරුන් වහන්සේ හෙට දිනය පැමිණීමට ඉඩ තැබුවේද (අවකාශ කළේද) පින්වත එපමණකින්ම මේ ආරාධනාව පිළිගැනීම කරණ ලද්දේමය.”
5. එවිට ආයුෂ්මත් ආනන්ද තෙරුන්වහන්සේ ඒ රාත්‍රිය පසුවී පෙරවරු කාලයෙහි ඇඳ පොරවා සිවුරු පාත්‍රා ගෙණ පසු මහණවූ චෙතක නම්වූ භික්ෂුව හා සමග තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයාගේ නිවස යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ පණවනලද ආසනයෙහි වැඩහුන්නේය. එවිට තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයා ආනන්ද තෙරුන් වහන්සේ යම්තැනකද එතැනට පැමිණියේය. එසේ පැමිණ ආයුෂ්මත් ආනන්ද තෙරුන්වහන්සේ හා සමග සතුටු වූයේය. සතුටු වියයුතු සිහිකටයුතු කථාව කොට එකපැත්තකටව උන්නේය.
6. එකපැත්තකටව උන්නාවූ තොදෙය්‍ය පුත්‍රවූ සුභ තරුණයා ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේට මේ කාරණය කීයේය: “පින්වත් ආනන්ද තෙරුන්වහන්සේ ඒ භවත් ගෞතමයාණන් වහන්සේගේ දීර්ඝ කාලයක් මුලුල්ලේ ලඟ සිට උපස්ථාන කරන්නා වෙයි, කිට්ටුව හැසුරුණේ වෙයි. ඒ භවත් ගෞතම තෙම යම් ධර්ම පිළිබඳ ගුණ කියන ස්වභාව ඇතිසේක්ද, යම් ධර්මයක මේ ජනසමූහයා යෙදෙවූසේක්ද, තැන්ත් කරවූසේක්ද, පිහිටවූසේක්දැයි, මේ කාරණය පින්වත්වූ ආනන්ද තෙරුන්වහන්සේ දන්නේය. පින්වත් ආනන්දතෙරුන් වහන්ස, ඒ භවත් ගෞතමයාණන් වහන්සේ කවර ධර්ම පිළිබඳ ගුණ කියන ස්වභාව ඇතිවූයේද, කවර ධර්මයන්හි මේ ජනසමූහයා යෙදවූයේද, තැන්පත් කරවූයේද, පිහිටුවූයේද?”
7. “තරුණය, ඒ භාග්‍යවතුන් වහන්සේ තුන් ආකාර ස්කන්ධයන්ගේ ගුණ කියන ස්වභාව ඇත්තේය. මෙහිම මේ ජනසමූහයා යෙදවූයේය, තැන්පත් කරවූයේය, පිහිටුවූයේය. මොන ස්කන්ධයන්ගේද යතහොත්: උතුම් ශීල ස්කන්ධයේද, උතුම් සමාධි ස්කන්ධයේද, උතුම් ප්‍රඥා ස්කන්ධයේද, යන තුන් වැදෑරුම් ස්කන්ධයන්ගේය. තරුණය, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ තුන් ස්කන්ධයන්ගේ ගුණ කියන ස්වභාව ඇත්තේය. මෙහිම මේ ජනසමූහයා යෙදෙවූයේය, තැන්පත් කරවූයේය, පිහිටුවූයේය.”
8. “පින්වත් ආනන්ද තෙරුන් වහන්ස, ඒ භවත් ගෞතමයන් වහන්සේ යම් ශීල ස්කන්ධයක් ගැන ගුණ කියන ස්වභාව ඇතිවූයේද, යම් ශීල ස්කන්ධයක මේ ජනසමූහයා යෙදවූයේද, තැන්පත් කරවූයේද පිහිටුවූයේද ඒ උතුම්වූ ශීල ස්කන්ධය කවරේදැයි?”
9. “තරුණය, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ, විදර්ශනා ඤාණ ආදී විද්‍යා අට සීලසංවරය ආදී හසුරුවන ධර්ම පසළොස යන අෂ්ටවිද්‍යා පසළොස් චරණධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගති ඇත්තාවූ, සියලු ලෝකයන් දන්නාවූ, ශ්‍රේෂ්ඨවූ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, දෙවි මිනිසුන්ට ගුරුවරයෙක්වූ, සත්‍යවූ උතුම් ධර්මසතර අවබෝධ කළාවූ, තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමේ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් සහ මිනිසුන් සහිතවූ, සත්ත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයෙන් දැන පැහැදිලි කොට ප්‍රකාශ කෙරේද, ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූද, මැද යහපත්වූද, කෙළවර යහපත් වූද, අර්ථ සහිතවූද, නියම විධියට වචන ශබ්ද කරන්නාවූ ඛ්‍යඤ්ජන සහිත, සියලු ලෙසින් සම්පූර්ණවූ පිරිසිදුවූ, සියලු ශාසන මාර්ග බ්‍රහ්මචර්යය ගෙන හැර දක්වත්.