8.
සීහනාදසුත්තං
1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ උජුඤ්ඤා නම් නුවර සමීපයෙහිවූ කණ්ණකත්ථල මිගදාය නම්වූ තැනක වාසය කළහ. එකල අචෙල කස්සප නම්වූ නිර්වස්ත්‍ර පරිව්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතුවූ සිහි කටයුතු කථාව අවසාන කර එකපැත්තකටවී සිටියේය.
2. එකපැත්තකටවී සිටියාවූ අචෙල කස්සප තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය: “පින්වත් ගෞතමය, ශ්‍රමණ ගෞතම තෙමේ සියලු තපස්කම්වලට ගරහයි, නිර්වස්ත්‍රව හිඳීම, කෑම කා අත ලෙවකෑම ආදීවූ කටුක ජීවිත ඇති සියලු තපසුන්ට එකාන්තයෙන් අවමන් කරයි, චෝදනා කරයි, යන මේ කාරණය මා විසින් අසනලදී. පින්වත් ගෞතම මහණතෙමේ සියලු තපස්කම්වලට ගරහයි. නිර්වස්ත්‍ර හිඳීම අත ලෙවකෑම ආදීවූ කටුක ජීවිත ඇති සියළු තපසුන්ට ඒ කාන්තයෙන් හෙළාදකියි, අපවාද කෙරේයයි යම් ඒ කෙනෙක් මෙසේ කියත්ද, කිමෙක්ද ඔව්හු පින්වත් ගෞතමයන් විසින් කියන ලද්දක් කියන්නෝද? නැතහොත් පින්වත් ගෞතමයින්ට නැති නූපන් බොරු ගොතා කියා නින්දා වසයෙන් කියන්නෝද, පින්වත් ගෞතමයන් විසින් කියනලද කාරණයට අනුව කරුණු කියත්ද, නැතහොත් කරුණු සහිතව කියන අන්‍යයන්ගේ කීමකින් ඔබගේ කීම ගැරහිය යුතු කරුණකට සුලු වසයෙන්වත් නොපැමිණේද, අපි පින්වත් ගෞතමයන්ට බොරුවෙන් චොදනා කිරීමට නොකැමැත්තෝ වෙමු.”
3. “කාශ්‍යපය, ශ්‍රමණ ගෞතම තෙමේ සියලු තපස්කම්වලට ගරහයි, කටුක ජීවිත ගතකරණ සියලු තපසුන්ට ඒකාන්තයෙන් අවමන් කෙරේයයි යම් ඒ කෙනෙක් කියත්ද, ඔව්හු මා කීවක් කියන්නෝ නොවෙත්. ඔව්හු මට නැති නූපන් බොරුවෙන් නින්දා කොට කියන්නෝ වෙත්.”
කාශ්‍යපය, මම මේ ලෝකයෙහි කටුක ජීවිතයක් ගතකරණ ඇතැම් තපසෙකු මරණින් මතු නරකයෙහි උපන්නා, මිනිස් ඇස ඉක්ම පවත්නා පිරිසිදුවූ දිව්‍ය ඇසින් දකිමි. කාශ්‍යපය, මම මේ ලෝකයෙහි කටුක ජීවිත ගත කරණ ඇතැම් තපසෙකු මරණින් මතු සැප ඇති සුගතියෙහි උපන්නා, මිනිස් ඇස ඉක්ම පවත්නාවූ පිරිසිදු දිව්‍ය ඇසින් දකිමි.
කාශ්‍යපය, මම මේ ලෝකයෙහි අඩුවූ දුක් ඇතිව වාසය කරන ඇතැම් තපසෙකු මරණින් මතු අපාය නම්වූ දුගති ඇති විනිපාත නම්වූ නිරයෙහි උපන්නා, මිනිස් ඇස ඉක්ම පවත්නාවූ පිරිසිදු දිව්‍ය ඇසින් දකිමි.
කාශ්‍යපය, මම මේ ලෝකයෙහි අඩුවූ දුක් ඇතිව වාසයකරන ඇතැම් තාපසයෙකු මරණින් මත්තෙහි සැප ඇති සුගති නම්වූ ස්වර්ග ලෝකයෙහි උපන්නා, මිනිස් ඇස ඉක්ම පවත්නා පිරිසිදු දිව්‍ය ඇසින් දකිමි.
කාශ්‍යපය, යම් බඳුවූ මම මෙසේ මේ තපසුන්ගේ මතු ජාතියෙන් මේ ජාතියට පැමිණීමද, දැන් මෙයින් යායුතු තැනද එයින් චුතවීමද, එයින් චුතවූවන්ගේ නැවත ඉපදීමද තත්වූ පරිද්දෙන් දනිම්ද, ඒ මම කුමට සියලු තපස්කම්වලට ගරහන්නෙම්ද, කටුක ජීවිතයක් ගතකරණ සියලු තපසුන්ට ඒ කාන්තයෙන් කුමට අවමන් කරන්නෙම්ද?
4. “කාශ්‍යපය, පණ්ඩිතවූ, දක්ෂවූ අන්‍යයන් සමග කරණලද වාද ඇත්තාවූ තියුණු නුවණ ඇත්තාවූ තමන්ගේ නුවණින් අනුන්ගේ වැරදි ඇදහීම බිඳින්නෝයයි සිතාසිටින සමහර මහණ බමුණෝ ඇත්තාහ. සමහර කරුණුවලින් මාගේ ධර්මය ඔවුන්ගේ ධර්මයට සමවෙයි. සමහර කරුණුවලින් සමනොවෙයි. ඔව්හු සමහර ධර්ම යහපත්යයි කියත්ද අපිද ඒ සමහර ධර්ම යහපත්යයි කියමු. ඔව්හු සමහර ධර්ම යහපත් නොවේයයි කියත්ද, අපිද ඒ සමහර ධර්ම යහපත් නොවේයයි කියමු. ඔව්හු සමහර ධර්ම යහපත්යයි කියත්ද අපි ඒ ධර්ම යහපත් නොවේයයි කියමු. ඔව්හු සමහර ධර්ම යහපත් නොවේයයි කියත්ද, අපි ඒ සමහර ධර්ම යහපත්යයි කියමු. අපි සමහර ධර්ම යහපත්යයි කියමුද, අනික් අයද ඒ සමහර ධර්ම යහපත්යයි කියත්. අපි සමහර ධර්ම යහපත් නොවේයයි කියමුද, අනික් අයද ඒ සමහර ධර්ම යහපත් නොවේයයි කියත්. අපි යම් සමහර ධර්ම යහපත් නොවේයයි කියමුද, අනික් අයද ඒ සමහර ධර්ම යහපත්යයි කියත්.
මම ඔවුන් වෙත පැමිණ මෙසේ කියමි. ‘කාශ්‍යපය, අපේ මේ කාරණයන්හි යමක් සම නොවේද, ඒ කරුණු තිබෙත්වා. මේ කාරණයන්හි යමක් සමවේද, කාශ්‍යපය, මේ කාරණයන් පිළිබඳ ගුරුවරුන් හා ගුරුවරුන් ශ්‍රාවකයන් හා ශ්‍රාවකයන් යම් නුවණැති කෙනෙක් විමසන්නාහු පරීක්ෂා කරන්නාහු සසඳා බලන්නාහු: “මේ පින්වතුන්ගේ යම් ධර්ම කෙනෙක් අකුසල්ද අකුසල්යයි වෙන්කොට තබනලද්දාහුද, වරද සහිතද වරද සහිතයයි වෙන්කොට තබන ලද්දාහුද, සේවනය නොකොට යුතුද සේවනය නොකොට යුතුයයි වෙන්කොට තබන ලද්දාහුද, නිදොස් අයට නුසුදුසුද නිදොස් අයට නුසුදුසුයයි වෙන්කොට තබන ලද්දාහුද, අපිරිසිදු ධර්මයෝද අපිරිසිදු ධර්මයෝයයි වෙන් කොට තබන ලද්දාහුද, කවරෙක් මේ ධර්මයන් දුරුකොට පවතීද, ශ්‍රමණ ගෞතමයෝ හෝ වෙද්ද, අන්‍යවූ පින්වත් ගුරුවරයෝ හෝ වෙත්දැයි?”