7.
ජාලිය සූත්රය
1. මා විසින් මෙසේ අසනලදී: එක් කලෙක භාග්යවතුන් වහන්සේ කොසඹෑනුවර ඝොෂිතාරාමයෙහි වාසය කරණසේක. ඒ කාලයෙහිදී මණ්ඩිස්ස නම් පරිබ්රාජක තෙමේද දරුපත්තික නම් පරිබ්රාජකයෙකුගේ ශිෂ්යයෙක්වූ ජාලිය නම් පරිබ්රාජක තෙමේද යන දෙදෙන, භාග්යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතනට පැමිණියාහුය. පැමිණ, භාග්යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු විය යුතුවූ සිහි කටයුතුවූ කථාකොට එකපැත්තකටවී සිටියාහුය. එකපැත්තකටවී සිටි ඔවුන් දෙදෙන භාග්යවතුන් වහන්සේට මේ කාරණය දැන්නුවාහුය: “කිමෙක්ද ඇවැත්නි, ගෞතමයාණෙනි, ජීවයත් ශරීරයත් එකමද නොහොත් ජීවය අනෙකක්ද ශරීරය අනෙකෙක්ද?”යි.
2. “ඇවැත්නි, එහෙනම් අසව්. හොඳින් කල්පනා කරව්. කියන්නෙමි’යි වදාළ සේක. “ඇවැත්නි, එසේය”යි ඒ මහණුන් දෙදෙනා භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
3. ඇවැත්නි, මෙලොව තථාගතයන් වහන්සේ උපදින සේක. අර්හත්වූ, සම්යක් සම්බුද්ධවූ, විදර්ශනා ඥාන ආදී විද්යාඅට සීලසංවරය ආදී හසුරුවන ධර්ම පහළොව යන අෂ්ටවිද්යා පසළොස් චරණධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගති ඇත්තාවූ, සියලු ලෝකයන් දන්නාවූ, ශ්රේෂ්ඨවූ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, දෙවි මිනිසුන්ට ගුරුවරයෙක්වූ, (චතුරාර්ය සත්ය) සත්යවූ උතුම් ධර්මසතර අවබෝධකළාවූ, තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමේ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් සහ මිනිසුන් සහිතවූ, සත්ත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයෙන් දැක පැහැදිලි කොට ප්රකාශ කෙරේ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ අර්ථ සහිතවූ, (දස ආකාරයෙන්) නියම විදියට වචන ශබ්ද කරන්නාවූ ඛ්යඤ්ජන සහිත, සියලු ලෙසින් සම්පූර්ණවූ පිරිසිදුවූ සියලු ශාසනමාර්ග බ්රහ්මචර්යය ගෙන හැර දක්වති. ඒ ධර්මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්රයෙක් හෝ අන් කුල අතුරෙන් එක් කුලයක උපන්නෙක් හෝ අසයි, ඔහු ඒ දහම අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්රද්ධාව ඇති කෙරෙයි, ඔහු ඒ ශ්රද්ධාවෙන් යුක්ත වූයේ මෙසේ සලකන්නේය. ගෘහවාසය පීඩා සහිතයි රාගාදී කෙලෙස් සහිත මාර්ගයෙකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහි ගෙයි වසන්නාහු විසින් සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවූ, ලියවූ හක්ගෙඩියක් වැනි මෙම බ්රහ්මචරියාවෙහි හැසිරෙන්ට නොහැක්කේය. මම කෙස් දැලිරැවුලු කපාදමා සිව්රු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නෙම් නම් ඉතා යහපතැයි’ කියායි. ඔහු පසු කාලයක ස්වල්පවූ හෝ බොහෝවූ හෝ සම්පත් රාසිය හැර, ස්වල්පවූ හෝ බොහෝවූ නෑපිරිස් හැර, කෙස් දැළිරැවුලු කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වේ. මෙසේ මහණවූ ඔහු ප්රධාන සංවරසීලයෙන් යුක්තවූයේ, යහපත් හැසිරීමෙන් හා වරද නැති පැවැත්මෙන් යුක්තවූයේ, ස්වල්පවූත් අකුසලයන්හි විශේෂයෙන් භය දක්නා ගති ඇත්තෙක් වූයේ, යහපත්වූ ශරීරයෙන් වචනයෙන් ක්රියාවෙන් යුක්තවූයේ ශික්ෂාපද සමාදන්ව එහි මොනවට හික්මෙයි. පිරිසිදුවූ ජීවිත පැවතුම් ඇත්තේ වෙයි. ශීලයෙන් යුක්තවූයේ වෙයි. ඇවැත්නි, භික්ෂුනමක් කෙසේ නම් සීලසම්පන්න වේද? ඇවැත්නි, මේ සස්නෙහිවූ භික්ෂුනමක් ප්රාණවධය හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, බහා තබන ලද දඬු ඇත්තේ, බහාතබන ලද ආයුධ ඇත්තේ, පව් කිරීමෙහි ලජ්ජා ඇත්තේ කරුණාවන්තවූයේ, සියලු ප්රාණීන් කෙරෙහි හිත අනුකම්පාව ඇතිව වාසය කෙරේද මෙයද ඔහුගේ සීලයක්වේ. නොදුන් දෙය ගැනීමෙන් වෙන්ව... (සම්පූර්ණ චූල ශීලය, මධ්යම ශීලය, මහා ශීලය)... ඇවැත්නි, මෙසේ ශීල සම්පන්නවූ භික්ෂුහට භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු ඔහුගේ ශීලසංවරය හේතු කොට ගෙණ කිසිතැනකදී නොඋපදනේය. කුමක් මෙන්ද යත්: ඇවැත්නි, ක්ෂත්රියාභිෂෙකයෙන් මුදුනෙහි අභිෂෙක ලද්දාවූ, සතුරන් නැති කළාවූ ක්ෂත්රීය රජෙක් කිසියම් සතුරෙකුගෙන් කිසි භයක් නොදක්නේද, එපරිද්දෙන්ම, මහාලිය, සීලසම්පන්නවූ භික්ෂුතෙමේ භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු ශීලසංවරය හේතුකොට කිසි තැනකදී නොදක්නේය. ආර්යවූ (උතුම්වූ) මේ සීල රාශියෙන් යුක්තවූ ඒ භික්ෂු තෙම, තමන් තුළ පිරිසිදුවූ (කායික චෛතසික) සැපය විඳියි. ඇවැත්නි, මෙසේ වු භික්ෂුව සීලසම්පන්න නම් හොති.
4. කථං ච ආවුසො, භික්ඛු ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති? ඇවැත්නි, භික්ෂුව කෙසේ නම් ඉන්ද්රියයන්හි වැසූ දොරටු ඇත්තේද? ඇවැත්නි, මේ සස්නෙහි භික්ෂු තෙමේ, ඇසින් රූපයක් දැක එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. ඇස් ඉන්ද්රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආසාව හා කළකිරීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. ඔහු තමාගේ ඇස් ඉන්ද්රියය රකී, ඇස් ඉන්ද්රියයෙහි සංවරයට පැමිණේ. කනින් ශබ්දයක් අසා... නාසයට ගඳ සුවඳ දැනී... දිවෙන් රසයක් විඳ... කයින් ස්පර්ශයක් ස්පර්ශකොට... සිතින් (ධර්මයක්) අරමුණක් දැන එහි නොඇලේ... හෙතෙම සිත් ඉන්ද්රිය රකී. සිත් ඉන්ද්රියයෙහි සංවරයට පැමිණේ. එබඳුවූ භික්ෂුව උතුම්වූ ශීල රාශියෙන් යුක්තවූයේ අභ්යන්තරයෙහි පිරිසිදුවූ අධිචිත්ත සැපය විඳියි. ඇවැත්නි, මෙසේවූ භික්ෂු තෙමේ ඉන්ද්රියයන්හි වසනලද දොරටු ඇත්තේ වේ.
5. කථං ච ආවුසො, භික්ඛු සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො හොති? ඇවැත්නි, භික්ෂුව කෙසේ නම් සිහියෙන් හා මනා ප්රඥාවෙන් යුක්තවූයේ වේද? ඇවැත්නි, මේ සස්නෙහි භික්ෂුතෙම ඉදිරියට යෑමෙහිද, ආපසු යාමෙහිද, නුවණින් දැන කරන්නේය. ඉදිරි බැලීමෙහිද, වටපිට බැලීමෙහිද නුවණින් දැන බලන්නේය. අත් පා හැකිලීමෙහිද, දිගු කිරීමෙහිද, මනා නුවණින් දැන එසේ කරන්නේය. දෙපට සිවුරය, පාත්රය, සිවුරුය යන මේ දේ දැරීමෙහිදී මනා නුවණින් දැන එසේ කරන්නේය. අනුභව කිරීමය, පානය කිරිමය, වැළඳීමය, රස විඳීමය යන මෙහිද මනා නුවණින් යෙදී එසේ කරන්නේය. මල මුත්ර පහකිරීමද නුවණින් (ආදිනව) සලකා කරන්නේය. යෑම්, සිටීම්, හිඳීම්, සැතපීම්, නිදි තොරකිරීම්, කථාකිරීම්, නිශ්ශබ්දව සිටීම යන මේ දේ මනා නුවණින් දැන කරන්නේය. ඇවැත්නි, මෙසේ කරන්නාවූ භික්ෂු තෙමේ සිහියෙන් යුක්තවූයේ යහපත් නුවණින් යුක්ත වූයේ වෙයි.
6. කථඤ්ච ආවුසො, භික්ඛු සන්තුට්ඨො හොති? ඇවැත්නි, භික්ෂු තෙමේ කෙසේ සතුටු වූයේ වේද? ඇවැත්නි, භික්ෂු තෙමේ යන්තම් කය වැසීමට තරම්වූ සිවුරෙන්ද, ආරක්ෂාවට ප්රමාණවූ පිණ්ඩපාත ආහාරයෙන්ද සතුටු සිත් ඇත්තේ වේ. ඔහු යම් යම් තැනකට යේ නම් අටපිරිකර (කය පිළිබඳවූ දේ) පමණක් ගෙන යයි. ඇවැත්නි, යම්සේ පක්ෂියෙක් යම් තැනෙක පියාඹා යේ නම් ඒ සියලු තැන පියාපත් බර පමණකින් යුක්තව පියාඹා යේද, ඇවැත්නි, එපරිද්දෙන්ම භික්ෂු තෙමේද ශරීරය ආරක්ෂාවට ප්රමාණවූ සිවුරෙන්ද බඩ ආරක්ෂාවට ප්රමාණවූ පිණ්ඩපාත ආහාරයෙන්ද සතුටු වන්නේ වේ. ඔහු යම් තැනක යා නම් අටපිරිකර පමණක් රැගෙණ බැහැර යයි. ඇවැත්නි, මෙසේවූ භික්ෂු තෙමේ සන්තෝෂයෙන් යුක්ත වේ.
7. උතුම්වූ මේ සීලසමූහයෙන් යුක්තවූද උතුම්වූ මේ ඉන්ද්රිය සංවරයෙන් යුක්තවූද, මේ උතුම්වූ සතිසම්පජඤ්ඤයෙන් යුක්තවූද, මේ උතුම්වූ සන්තෝෂයෙන් යුක්තවූද, ඒ භික්ෂු තෙමේ කැලයද, ගහක් මුලද, කඳු පලාත්ද, කඳුරැලි ගල්ගුහාවන් හෝ මහා මගද, සොහොන්ද, ඉතා දුරවූ කැලෑ වාසස්ථානද, බොහෝ ඉඩකඩ ඇති තැන් සහ වන ගුහාද යන මේ ස්ථාන ආශ්රය කෙරේද, ඔහු පසුබත් කාලයෙහි පිණ්ඩපාත ආහාරයෙන් වැළැක්කේ, පයර්යංකය බැඳ, කකුල් අකුලුවා හිඳ ශරීරයේ උඩු කොටස කෙලින් තබා නිවණෙහිම සිත එලවා, ඒ නිවණම අරමුණු වසයෙන් සිත ඉදිරියෙහි පිහිටුවාගෙණ හිඳී. ඔහු ලෝකයෙහි ලෝභය පහකොට ලෝභ රහිත සිතින් යුක්තව වාසය කෙරේද ලෝභ සිත වෙන් කොට පිරිසිදු කෙරේ. සිත කෙලසන්නාවූ ක්රෝධය පහකොට ක්රෝධයෙන් දුරුවූ සිත් ඇතිව පණඇති සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේව වාසය කෙරේද ක්රොධ දෝෂයෙන් වෙන්ව සිත පිරිසිදු කෙරේද කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරුකොට කය-සිත පිළිබඳ පහවූ අලස බව ඇත්තේ පිරිසිදු හැඟීම් ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් ප්රඥා ඇත්තෙක්ව වෙසේද, අලස බව දුරුකොට සිත පිරිසිදු කෙරේද, උඩඟු බව හා කුකුස දුරුකොට, සංසිඳුනු සිත් ඇතිව වාසය කෙරේද, ඇතුළත සංසිඳුනු සිත් ඇත්තේ, සිත උඩඟු බව හා කුකුසෙන් පිරිසිදු කෙරේද, විචිකිච්ඡාව (සැකය) දුරුකොට, පහකළ විචිකිච්ඡා ඇත්තේ කුශලධර්ම විෂයෙහි සැක නැතිව වෙසේද; විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරේද.
ඇවැත්නි, යම්සේ පුරුෂයෙක් ණය ගෙණ කර්මාන්තයන්හි යොදන්නේද... ඔහුට මෙබඳු අදහසක් ඇතිවේ... හෙතෙම ඒ ණය නැති බව මුල්කොට ගෙණ බලවත් සතුටක් ලබන්නේය. ඇවැත්නි, යම්සේ රොගයෙන් පෙළෙන... පුරුෂයෙක් වන්නේද... ඔහුට මෙබඳු අදහසක් වන්නේය... මට ආහාර රුචියද ඇත්තේය... ඔහු ඒ කාරණය මුල්කොට බලවත් සතුටක් ලබන්නේය. ඇවැත්නි, යම්සේ පුරුෂයෙක් සිරගෙයි බැඳුනේ වේද... මගේ කෑම පිළිබඳ කිසි වියදමක්ද නොවූයේය’ කියායි. ඔහු සිරගෙයින් මිදීම නිමිති කොට බලවත් සතුටක් ලබන්නේය. ඇවැත්නි, යම් සේ ... දාසයෙක් වන්නේද... මම දැන් ඒ දාස භාවයෙන් මිදුනෙක්මි... ඔහු ඒ දාස භාවයෙන් මිදීම හේතුකොට බලවත් සතුටක් ලබන්නේය. ඇවැත්නි, යම්සේ ධනවත්වූ භොග සම්පත් ඇති පුරුෂයෙක් ආහාර දුර්ලභවූ, භය සහිතවූ, දීර්ඝවූ කාන්තාර මාර්ගයකට පැමිණෙන්නේද... මම දැන් එම කාන්තාර මාර්ගය පසුකෙළෙමි... ඒ පුරුෂයා ඒ කාන්තාර මාර්ගය එතෙර කිරීම නිමිතිකොට බලවත් සතුටුක් ලබන්නේය. ඇවැත්නි, ණය යම්සේද, රෝගය යම්සේද, හිරගේ යම්සේද, දාසභාවය යම්සේද, දීර්ඝ කාන්තාර මාර්ගය යම්සේද, එපරිද්දෙන් භික්ෂු තෙමේ පහනොකළ (පඤ්ච නීවරණ) කුසල් වලක්වන කරුණු පහ තමා කෙරෙහි ලා නුවණින් දකීද, ඇවැත්නි, ණය නැති බව යම්සේද, නිරෝගී බව යම්සේද, සිරගෙන් මිදීම යම්සේද, අනුන්ට යටහත් නැති බව යම්සේද භය නැති භූමිය යම්සේද, එපරිද්දෙන්ම ඇවැත්නි, භික්ෂු තෙමේ පහකළාවූ මේ කුසල් වළක්වන කරුණු පහ තමන් තුළ නැති බව නුවණින් දක්නේය.
පහකළාවූ මේ කුසල් වළක්වන කරුණු පහ තමා කෙරෙහි නැතැයි නුවණින් දක්නාවූ ඒ භික්ෂුහට සතුටු ආකාරය උපදී. සතුටු වුවහුට ප්රීතිය උපදී. ප්රීතිසහගත සිත් ඇත්තහුගේ නාම කය (වේදනාදී ස්කන්ධ හතර) සංසිඳෙයි, සංසිඳුනු කය ඇති තැනැත්තේ කායික චෛතසික සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධියට (එකඟ බවට) පැමිණෙයි.
ඒ භික්ෂු තෙමේ වස්තුකාම ක්ලෙශකාමයන්ගෙන් වෙන් වූයේම, අකුශල ධර්මයන් කෙරෙන්ද වෙන් වූයේම අරමුණට සිත පැමිණවීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම සහිතවූ, සිතෙහි විවේකයෙන් උපන් ප්රීතියම සැපකොට ඇති, පළමුවෙනි ධ්යාන කුසල චිත්තය තමා තුළ ඉපදවීම් වසයෙන් ඊට පැමිණ එම ධ්යානයෙහි වාසය කෙරේද. ඔහුගේ විවේකයෙන් හටගත් ප්රීතිසුඛයෙන් ස්පර්ශ නොකළාවූ කිසි තැනක් මුළු ශරීරයෙහිම නොවෙයි.
ඇවැත්නි, යම් භික්ෂුනමක් මෙසේ දනී නම්, මෙසේ දකී නම් ඒ මහණහට ජීවයත් ශරීරයත් එකම හෝ ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට යුතුදැයි ඇසීමි.
“ඇවැත්නි, යම් ඒ භික්ෂුවක් මෙසේ දනීද, මෙසේ දකීද ඔහුට ජීවයත් ශරීරයත් එකමයයි හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට යුතුය”යි ඒ මහණුන් දෙදෙන කීහ.
ඇවැත්නි, මම මෙය මෙසේ දනිමි. මෙසේ දකිමි. එසේ වුවත් මම ජීවයත් ශරීරයත් එකමය හෝ ජිවය අනෙකෙක, ශරීරය අනෙකෙකැයි හෝ නොකියමි.
8. ඇවැත්නි, නැවතද භික්ෂු තෙමේ අරමුණට සිත පැමිණවීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම යන මොවුන්ගේ සන්සිඳීමෙන් අද්ධ්යාත්මයෙහි මනා පැහැදීම කරන්නාවූ, සිත පිළිබඳ එකඟ බව ඇති, සමාධියෙන් හටගත් ප්රීති සැපය ඇති දෙවැනි ධ්යාන කුසල චිත්තයට පැමිණ වාසය කරයි. ඔහුගේ සමාධියෙන් හටගත් ප්රීතිසුඛයෙන් ස්පර්ශ නොකළාවූ කිසි තැනක් මුළු ශරීරයෙහිම නොවෙයි.
ඇවැත්නි, යම් භික්ෂුනමක් මෙසේ දනී නම් මෙසේ දකී නම් ඒ මහණහට ජීවයත් ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට යුතුදැයි ඇසීමි.
“ඇවැත්නි, යම් ඒ භික්ෂුනමක මෙසේ දනීද, මෙසේ දකීද, ඔහුට ජීවයත්, ශරීරයත් එකමය හෝ ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැයි හෝ යන මෙය කියන්නට යුතුය”යි කීහ.
ඇවැත්නි, මම මෙය මෙසේ දනිමි. මෙසේ දකිමි. එසේ වුවත් මම ජීවයත් ශරීරයත් එකය හෝ ජීවය අනෙකක, ශරීරය අනෙකෙකැයි හෝ නොකියමි.
නැවතද ඇවැත්නි, ඒ භික්ෂු තෙමේ ප්රීතියෙහි නොඇල්මෙන් මැදහත් බැව් ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් නුවණ ඇත්තේ කයින්ද සැපයක් විඳියි. යම් ධ්යානයක් පිළිබඳව (උපේක්ෂා) සැප දුක් දෙකට මැදහත් විඳීම ඇත්තේය, සිහි ඇත්තේය, සැපයෙන් විසීම ඇත්තේයයි ආර්යයෝ කියත්ද, ඒ තුන්වැනි ධ්යාන කුසල චිත්තයට පැමිණ වාසය කෙරේ. ඔහුගේ ප්රීතිය රහිතවූ (උපේක්ෂා) සැපයෙන් ස්පර්ශ නොකළාවූ කිසි තැනක් මුළු ශරීරයෙහිම නොවෙයි.