6.
මහාලි සූත්‍රය
1. මා විසින් මෙසේ අසනලදී: එක්කාලයක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර අසල මහවනයෙහි කූටාගාර ශාලානම් විහාරයෙහි වාසය කළෝය.
එකල කොසොල් රටවැසි බොහෝවූ බ්‍රාහ්මණ දූතයෝද, මගධ රටවැසි බ්‍රාහ්මණ දූතයෝද කිසියම් අවශ්‍ය කටයුත්තක් සඳහා විශාලා මහනුවර වාසය කරති. ඒ කොසොල් රටවැසි බ්‍රාහ්මණ දූතයෝද මගධරට වැසි බ්‍රාහ්මණ දූතයෝද මේ කරුණු ඇසුවෝය: “ශ්‍රමණ භවත් ගෞතමයන්වහන්සේ ශාක්‍ය කුලයෙන් නික්ම මහණව විශාලාමහනුවර සමීපයේ මහාවනයෙහි කූටාගාර ශාලානම් විහාරෙහි වාසය කරති. ඒ භවත් ගෞතමයන් පිළිබඳව මෙසේ යහපත් කීර්ති ඝොෂාවක් උසස්ව නැංගේය: ‘ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්ය, සම්‍යක් සම්බුද්ධය, විද්‍යාචරණසම්පන්නය, සුගතය, ලෝකවිදූය, අනුත්තර පුරිසදම්මසාරථීය, දෙවි මිනිසුන්ට ශාස්තෘය, බුද්ධය, භාග්‍යවත්ය’. ඒ තථාගතතෙමේ දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් හා මිනිසුන් සහිතවූ, සත්ත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයෙන් දැන පැහැදිලි කොට ප්‍රකාශ කෙරේ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සියලු ලෙසින් සම්පූර්ණවූ පිරිසිදුවූ, බ්‍රහ්මචර්යාව ගෙන හැර දක්වති. එබඳුවූ රහතුන්ගේ දැකීම යහපත්ම වේයයි”.
2. ඉක්බිති ඒ කොසොල්රට වැසි බ්‍රාහ්මණ දූතයෝද, මගධ රටවැසි බ්‍රාහ්මණ දූතයෝද, කූටාගාර ශාලාවිහාරය යම් තැනකද එතනට පැමුණුනාහ. ඒ කාලයේදී ආයුෂ්මත් නාගිත තෙරුන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන්නේ වෙයි. ඉක්බිති ඒ කොසොල් රටවැසි බ්‍රාහ්මණ දූතයෝද මගධරට වැසි බ්‍රාහ්මණ දූතයෝද ආයුෂ්මත් නාගිත ස්ථවිරයන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් නාගිත තෙරුන් වහන්සේට මෙසේ කීහ: “පින්වත් නාගිත, භවත් ගෞතමයන් වහන්සේ දැන් කොතන වැඩවසන්නෝද? අපි භවත් ගෞතමයන් වහන්සේ දකිනු කැමැත්තෙමු.”
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ දැකීමට මේ සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේ පලසමවතට (පටිසල්ලීන) පැමිණියේය”යි කීයේය.
ඉක්බිති ඒ කොසොල් රටවැසි බ්‍රාහ්මණ දූතයෝද, මගධ රටවැසි බ්‍රාහ්මණ දූතයෝද ‘අපි ඒ භවත් ගෞතමයන් වහන්සේ දැකලාම යන්නෙමුය’යි සිතා එහිම එක පැත්තකටවී හුන්හ.
3. ඔට්ඨද්ධ නම් ලිච්ඡවි තෙමේද මහත් ලිච්ඡවි පිරිසක් සමග මහාවනයෙහි කූටාගාරශාලා විහාරය යම් තැනෙක්හිද ආයුෂ්මත් නාගිත තෙරුන්වහන්සේ යම් තැනෙකහිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් නාගිත තෙරුන් වහන්සේ වැඳ එක පැත්තකටවී සිටියේය. එක පැත්තකටවී සිටියාවූ ඔට්ඨද්ධ ලිච්ඡවි තෙමේ ආයුෂ්මත් නාගිත තෙරුන් වහන්සේට මෙසේ කීයේය: “ස්වාමීනි, නාගිත තෙරුන්වහන්ස, ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැන් කොතන වැඩ සිටිත්ද? අපි ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැකීමට කැමැත්තෙමු.”
“මහාලිය, භාග්‍යවතුන් වහන්සේ දැකීමට මේ නුසුදුසු කාලයයි. භාග්‍යවතුන් වහන්සේ පලසමවතට පැමිණි සේකැයි” දැන්වීය. ඔට්ඨද්ධ ලිච්ඡවි තෙමේද “මම ඒ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදු රජාණන් වහන්සේ දැකලාම යන්නෙමියි එහිම එකපැත්තකටවී හුන්නේය.
4. ඉක්බිති සීහ නම් සාමණෙර තෙමේ ආයුෂ්මත් නාගිත තෙරුන් වහන්සේ යම් තැනකද එතනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් නාගිත තෙරුන් වහන්සේ වැඳ එකපැත්තකටවී සිටියේය. එක පැත්තකටවී සිටියාවූ සීහ සාමණේර තෙමේ ආයුෂ්මත් නාගිත තෙරුන් වහන්සේට මෙසේ කීවේය: “ස්වාමීනි කාශ්‍යපය, මේ බොහෝවූ කොසොල් රටවැසි බ්‍රාහ්මණ දූතයෝද මගධරට වැසි බ්‍රාහ්මණ දූතයෝද, භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස මෙහි පැමිණියෝය. ඔට්ඨද්ධ ලිච්ඡවි තෙමේද මහත් ලිච්ඡවි පිරිසක් සමග භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස මෙහි පැමිණියේය. සාධු! ස්වාමීනි කාශ්‍යපය, මේ ජනසමූහයාට භාග්‍යවතුන් වහන්සේ දැකීමට ඉඩ ලබා දෙත්වා.”
“එසේනම් සීහ, ඔබම භාග්‍යවතුන් වහන්සේට මේ බව දන්වන්න”යයි කීයේය. “එසේය, ස්වාමීන් වහන්ස”යි සීහ සාමණේරතෙම ආයුෂ්මත් නාගිත තෙරුන්වහන්සේට පිළිවදන් දී, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක පැත්තකටව සිටියේය. එක පැත්තකටවී සිටි සීහ සාමණේර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය: “ස්වාමීන් වහන්ස, මේ බොහෝවූ කොසොල් රටවැසි බ්‍රාහ්මණ දූතයෝද මගධ රට වැසි බ්‍රාහ්මණ දූතයෝද භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස මෙහි පැමිණියාහ. ඔට්ඨද්ධ ලිච්ඡවි තෙමේද මහත් ලිච්ඡවි පිරිසක් සමග භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස මෙහි පැමිණියේය. සාධු! ස්වාමීන් වහන්ස, මේ පිරිසට භාග්‍යවතුන් වහන්සේ දැකීමට ඉඩ දෙත්වා.”
“එසේ නම්, සීහ, විහාරයෙහි සෙවනැල්ලෙහි ආසනයක් පණවවයි” වදාළ සේක.
“එසේය ස්වාමීන් වහන්ස”යයි සීහ සාමණේර තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී විහාරයෙහි සෙවනැල්ලෙහි ආසනයක් පැණවීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විහාරයෙන් නික්ම විහාරයෙහි සෙවනැල්ලෙහි පැණවූ ආසනයෙහි වැඩහුන් සේක.
5. ඉක්බිති ඒ කොසොල් රටවැසි බ්‍රාහ්මණ දූතයෝද, මගධ රටවැසි බ්‍රාහ්මණ දූතයෝද භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූහ, සතුටුවිය යුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත්පස්ව හුන්හ. ඔට්ඨද්ධ ලිච්ඡවි තෙමේද මහත් ලිච්ඡවි පිරිසක් සමග භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන් ඔට්ඨද්ධ ලිච්ඡවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළේය:
“ස්වාමිනි, පෙර දිනක සුනක්ඛත්ත ලිච්ඡවිපුත්ත තෙමේ මා වෙත එළඹියේය. එළඹ, මට මෙසේ කීය: ‘මහාලිය, මම භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරමින් වසන ලද්දේ නොබෝ කල් ඇත්තේ තුන් වසක් විය. මම ප්‍රිය උපදවන්නාවූ කාමයන් හා යුක්තවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය රූපයන් දකිමි. එහෙත් ප්‍රිය උපදවන්නාවූ කාමයන් හා යුක්තවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය ශබ්දයන් නොඅසමි’යි. ස්වාමීන්වහන්ස, සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා යම් ප්‍රිය උපදන්නාවූ කාමයන් හා යුක්තවූ ඇලීම ඇතිකරන්නාවූ දිව්‍ය ශබ්දයන් නොඇසුවේද, ඒවා ඇත්තාවූම ශබ්දයන්ද? නැතහොත් නැත්තාවූ ශබ්දයන්ද?”