5.
කූටදන්ත සූත්රය
1. මා විසින් මෙසේ අසනලදී. එක් කාලයක භාග්යවතුන් වහන්සේ පන්සියයක් පමණවූ මහත් භික්ෂු සංඝයාවහන්සේ සමග මගධ දෙශයෙහි හැසිරෙන කල ඛාණුමත නම් බමුණු ගමට වැඩියෝය. එහි භාග්යවතුන් වහන්සේ අම්බලට්ඨිකා නම් උයනෙහි වාසය කරති.
එකල කූටදන්ත නම් බ්රාහ්මණයෙක් මගධ දෙශයෙහි රජවූ සේනිය (සේනා ඇති) බිම්බිසාර මහරජතුමන් විසින් උසස් පරිත්යාගයක් ලෙස උතුම්කොට දෙනලද, බොහෝ පිරිවර ජනයාගෙන් හා ඇතුන් අශ්වයන් ආදී සත්ත්ව සමූහයාගෙන් ගැවසුනු, තණ, දර, දිය බොහෝසේ ඇතිවූ ධාන්ය සම්පත්තීන් යුත් ඛාණුමත නම් බමුණු ගමෙහි ප්රධානියාව වාසය කරයි.
එකල කූටදන්ත බ්රාහ්මණයාගේ මහත් යාගයක් ළඟා විය. ගොනුන් සත්සියයක්ද, නහඹු වස්සන් සත්සියයක්ද, නාඹු වැස්සියන් සත්සියයක්ද, තිරළුවන් සත්සියයක්ද, එළුවන් සත්සියයක්ද, යාගය පිණිස යාග කණුව වෙත පමුණුවන ලද්දාහු වෙත්.
2. එකල්හි ඛාණුමත ගම්වැසි බමුණු පවුල්හි ප්රධානයෝ මෙපවත් ඇසූහ. “ශ්රමණ භවත් ගෞතමයන් වහන්සේ ශාක්යපුත්රයෙක, ශාක්යකුලයෙන් නික්ම පැවිදිවූවෙක, පන්සියයක් පමණවූ මහත් භික්ෂුසංඝයා වහන්සේ සමග මගධරටෙහි හැසිරෙන්නේ ඛාණුමත ගමට පැමිණ එහි අම්බලට්ඨිකා උයනෙහි වාසය කරයි.
‘ඒ භවත් ගෞතමයන් වහන්සේ පිළිබඳ හිත් ප්රියකරන කීර්ති රාවයක් පැනනැංගේය’: මේ භාග්යවතුන් වහන්සේ අර්හත්හ, සම්මා සම්බුද්ධයහ, විද්යාචරණසම්පන්නයහ, සුගතයහ, ලෝකවිදූහ, අනුත්තර පුරිසදම්මසාරථීහ, දෙවි මිනිසුන්ට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ’යි. උන්වහන්සේ දෙවියන්, මරුන්, බඹුන් සහිතවූ මේ ලෝකයද, මහණ බමුණන් හා දෙවිමිනිසුන් සහිත ප්රජාවද, තෙමේ ඉතා උසස් ඥානයෙන් දැන, සක්සක් කර දන්වනසේක. මුල මැද අග යන තුන් තැනම යහපත්වූ අර්ථයෙන් සහ නියම වචන ශබ්දකිරීමෙන් යුත් සර්ව සම්පූර්ණ දහමක් දෙසති. පිරිසිදු බ්රහ්මචරියාව පවසති. එබඳු රහතුන්ගේ දැකීම යහපත්ය”යි.
එවිට ඒ ඛාණුමත ගම්වැසි බමුණු පවුල් ප්රධානයෝ ඛාණුමත ගමින් නික්ම රංචු රංචුගැසී මහත් සමූහ ඇත්තාහු එක්ව රැස්ව අම්බලට්ඨිකා උයනට පැමිණෙත්.
3. එකල්හි කූටදන්ත බ්රාහ්මණ තෙමේ ප්රාසාදයෙහි මතු මහල් තලයෙහි දවල් හාන්සිවී විවේක ගැනීමට පැමිණියේය. ඛාණුමත ගම්වැසියන් බමුණු පවුල් ප්රධානීන්, ඛාණුමත ගමින් පිටත්ව රන්චුගැසී එකතුවී අම්බලට්ඨිකා උයනට පැමිණෙන්නන් කූටදන්ත බමුණු දුටුවේය. දැක කත්තා (ආවතේවකරු) ඇමතියාට කථාකර “ඇමතියෙනි, ඛාණුමත ගම වැසි බමුණු පවුල්වල ප්රධානියෝ ඛාණුමත ගමින් පිටත්ව, රංචුගැසී අම්බලට්ඨිකා උයන කරා මක්නිසා පැමිණෙත්දැ”යි ඇසීය.
“පින්වත, මේනම් කරුණක් ඇත්තේය: ශාක්ය පුත්රවූ, ශාක්ය කුලෙන් නික්ම පැවිදිවූ, මහණ ගෞතම තෙමේ පන්සියයක් පමණ මහා භික්ෂු සංඝයා සමග මගධ රට ගමන් කරන්නේ පිළිවෙලින් ඛාණුමතයට වැඩ අම්බලට්ඨිකා උයනෙහි වාසය කරති. ‘ඒ භාග්යවතුන් වහන්සේ අර්හත්හ; සම්යක් සම්බුද්ධයහ; විද්යාචරණසම්පන්නයහ; සුගතයහ; ලොකවිදුහ; අනුත්තරයහ; පුරිසදම්මසාරථිහ, දෙවිමිනිසුන්ගේ ගුරුවරයාහ, බුද්ධයහ, භාග්යවත්හ’යි ඒ භවත් ගෞතමයන් ගැන මෙබඳු යහපත් ගුණ ඝොෂාවක් උස්ව පැනනැංගේය. ඔවුහු ඒ භවත් ගෞතමයන් වහන්සේ දැකීම පිණිස පැමිණෙති”යි කීහ.
4. එවිට කූටදන්ත බමුණාට මෙබඳු සිතෙක් විය. “මා විසින් මෙය අසන ලද්දේමය: ‘ශ්රමණ භවත් ගෞතම තෙමේ දහසය ආකාර පිරිවර ඇති ත්රිවිධ යාග සම්පත්තිය දන්නේය’ යනුයි. මම වනාහි දහසය ආකාර පිරිවර ඇති ත්රිවිධ යාග සම්පත්තිය නොදනිමි. මම මහායාගයක් කරන්ටද කැමැත්තෙමි. යම් හෙයකින් මම මහණ ගෞතමයන් වෙත ගොස් සොළොස් ආකාර පිරිවර ඇති ත්රිවිධ යාග සම්පත්තිය ශ්රමණ ගෞතමයන්ගෙන් අසන්නෙම් නම් ඉතා යහපති”.
එවිට කූටදන්ත බ්රාහ්මණයා කත්තා ඇමතියා අමතා, “එසේනම්, පින්වත් ඇමතියෙනි, ඛාණුමත වැසි බමුණු ගෙවල් ප්රධානීන් වෙත යව. ගොස් ඛාණුමත වැසි බමුණු ගෙවල් ප්රධානීන් ට මෙසේ කියව. ‘කූටදන්ත බමුණු තෙමේ මෙසේ කියයි: පින්වත්හු නවතිත්වා (පමාවෙත්වා). කූටදන්ත බමුණු තෙමේද, ශ්රමණ භවත් ගෞතමයන් දැකීමට පැමිණෙන්නේය’ යි.
ඇමති තෙමේ, “පින්වත, එසේ යහපතැ”යි කූටදන්ත බමුණුහට උත්තරදී, ඛාණුමතයෙහි බමුණු පවුල්වල ප්රධානීන් වෙත පැමිණියේය. පැමිණ ඛාණුමතයෙහි බමුණු පවුල්වල ප්රධානීන් ට මෙසේ කීය: “කූටදන්ත බමුණු තෙමේ මෙසේ කියයි: පින්වත්හු නවතිත්වා (පමාවෙත්වා). කූටදන්ත බමුණු තෙමේද ශ්රමණ භවත් ගෞතමයන් දැකීමට පැමිණෙන්නේය” යි.
5. එකල බොහෝ සියගණන් බමුණෝ ‘කූටදන්ත බමුණුගේ මහායාගය පිළිගනිමු (අනුභව කරමු)’යි ඛාණුමතයට පැමිණ වාසය කරති. ‘කූටදන්ත බමුණුතෙම ශ්රමණ ගෞතමයන් දැකීමට පැමිණෙන්නේය’ යනු ඒ බමුණෝ ඇසූහ. එවිට ඒ බමුණෝ කූටදන්ත බමුණු වෙත පැමිණියෝය. පැමිණ කූටදන්ත බ්රාහ්මණයාට මෙසේ කීහ: ‘පින්වත් කූටදන්ත තෙම ශ්රමණ ගෞතමයන් දැකීමට පැමිණෙන්නේය යනු සත්යයක දැ’යි.