4.
සොණදණ්ඩ සූත්‍රය
1. මා විසින් මෙසේ අසනලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් පමණවූ මහත් භික්ෂු සංඝයාවහන්සේ සමග අඟු රටෙහි හැසිරෙන කල චම්පා නුවරට වැඩියෝය. එහි භාග්‍යවතුන් වහන්සේ චම්පා නගරයෙහිවූ ගග්ගරා නම් පොකුණු තෙර වාසය කරති.
එකල සොණදණ්ඩ නම් බ්‍රාහ්මණයෙක් ජනයාගෙන් ගැවසුනු, තණ දර දිය ධාන්‍ය සම්පත්තීන් යුත්, රජුගේ භුක්තියට සුදුසු, මගධ දෙශයෙහි රජවූ සෙනිය බිම්බිසාර මහරජතුමන් විසින් රාජ දායාදයක් ලෙස දෙන ලද බ්‍රහ්මදෙය්‍ය වූ චම්පා නගරයෙහි අධිපතිව වාසය කළේය.
2. එකල්හි චම්පානුවර වැසි බමුණු ගෘහපතීහු මෙපවත් ඇසූහ: “ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ශාක්‍යපුත්‍රයෙක, ශාක්‍යකුලයෙන් නික්ම පැවිදිවූවෙක, පන්සියයක් පමණවූ මහත් භික්ෂුසංඝයා වහන්සේ සමග අඟුරටෙහි හැසිරෙන්නේ පිළිවෙළින් චම්පා නගරයට පැමිණ එහි ගග්ගරා නම් පොකුණු තෙර වාසය කරයි. ඒ භවත් ගෞතමයන් වහන්සේ පිළිබඳ මෙබඳු කල්‍යාණ කීර්ති ඝෝෂාවක් පැනනැංගේය: “ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත්හ, සම්මා සම්බුද්ධහ, විජ්ජාචරණ සම්පන්නහ, සුගතහ, ලෝකවිදූහ, අනුත්තර පුරිසදම්මසාරථීහ, දෙවි මිනිසුන්ට ශාස්තෘහ, බුද්ධහ, භගවත් නම් වූහ. උන්වහන්සේ දෙවියන්, මරුන්, බඹුන් සහිතවූ මේ ලෝකයද, මහණ බමුණන් හා දෙවිමිනිසුන් සහිත ප්‍රජාවද, තෙමේ විශිෂ්ට ඥාණයෙන් දැන, ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කරති. මුල මැද අග යන තුන් තැනම යහපත්වූ අර්ථයෙන් සහ ව්‍යඤ්ජනයෙන් යුත් සර්ව සම්පූර්ණ පිරිසිදු බ්‍රහ්මචරියාව පවසති. එබඳු රහතුන්ගේ දැකීම මැනව”යි.
3. ඉක්බිති චම්පානුවර වැසි බමුණු ගෘහපතීහු චම්පා නුවරින් නික්ම රංචු ගැසී කණ්ඩායම් වශයෙන් ගග්ගරා පොකුණු තෙර යම් තැනකද එතැනට පැමිණෙත්.
4. එකල්හි සොණදණ්ඩ බ්‍රාහ්මණතෙමේ ප්‍රාසාදයෙහි මතු මහල් තලයෙහි දවල් කාලයෙහි විවේක ගැනීමට පැමිණියේය. සොණදණ්ඩ බමුණුතෙමේ චම්පානුවර වැසි බමුණු ගෘහපතියන් චම්පානුවරින් පිටත්ව රංචුගැසී කණ්ඩායම් වශයෙන් ගග්ගරා පොකුණු තෙර යම් තැනකද එතැනට පැමිණෙන්නන් දුටුවේය. දැක තමන්ගේ ඇමතියාට කථාකර “පින්වත් ඇමතිය, චම්පා නුවර වැසි බමුණු ගෘහපතියෝ චම්පානුවරින් පිටත්ව, රංචු ගැසී කණ්ඩායම් වශයෙන් ගග්ගරා පොකුණු තෙර යම් තැනකද එතැනට මක් නිසා පැමිණෙත්දැ”යි ඇසීය.
“පින්වත, ශාක්‍ය පුත්වූ, ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවූ, ශ්‍රමණ ගෞතම තෙමේ පන්සියයක් පමණ මහා භික්ෂු සංඝයා සමග අඟුරට ගමන් කරන්නේ පිළිවෙලින් චම්පාවට පැමිණ ගග්ගරා පොකුණු තෙර වාසය කරයි. ඒ භවත් ගෞතමයන් වහන්සේ ගැන මෙබඳු කල්‍යාණ කීර්ති ඝෝෂාවක් පැනනැංගේය: ‘ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත්හ; සම්මා සම්බුද්ධයහ: විජ්ජාචරණසම්පන්නයහ: සුගතහ, ලොකවිදූහ, අනුත්තර පුරිසදම්මසාරථිහ; දෙවිමිනිසුන්ගේ ශාස්තෘහ; බුද්ධයහ, භාග්‍යවත්හ’ යි. ඔවුහු ඒ භවත් ගෞතමයන් වහන්සේ දැකීම පිණිස පැමිණෙති.”
5. “එසේනම් පින්වත් ඇමතිය, චම්පෙය්‍යක බමුණු ගෘහපතියන් වෙත යව. ගොස් චම්පෙය්‍යක බමුණු ගෘහපතියන්ට මෙසේ කියව: ‘සොණදණ්ඩ බමුණු තොපට මෙසේ කියයි. පින්වත්හු ආගමනය කරත්වා (මදක් නවතිත්වා), සොණදණ්ඩ බමුණු තෙමේද ශ්‍රමණ භවත් ගෞතමයන් දැකීමට පැමිණෙන්නේය’යි.
‘පින්වත, එසේය’යි ඒ ඇමති තෙමේ සොණදණ්ඩ බමුණහට පිළිතුරු දී චම්පෙය්‍යක බමුණු ගෘහපතියන් වෙත පැමිණියේය. පැමිණ චම්පෙය්‍යක බමුණු ගෘහපතියන්ට මෙසේ කීය: “සොණදණ්ඩ බමුණු තොපට මෙසේ කියයි: ‘පින්වත්හු ආගමනය කරත්වා, සොණදණ්ඩ බමුණුද ශ්‍රමණ භවත් ගෞතමයන් දැකීමට පැමිණෙන්නේය’යි.”
6. එකල නොයෙක් රටවලින් පැමිණි පන්සියයක් පමණවූ බමුණෝ කිසියම් කටයුත්තක් සඳහා ඒ චම්පාවෙහි වාසය කරති. “සොණදණ්ඩ බමුණු තෙම ශ්‍රමණ ගෞතමයන් දැකීමට පැමිණෙන්නේය” යනු ඒ බමුණෝ ඇසූහ. ඉක්බිති ඒ බමුණෝ සොණදණ්ඩ බමුණු වෙත පැමිණියෝය. පැමිණ සොණදණ්ඩ බමුණුගෙන් මෙසේ ඇසූහ: “භවත් සොණදණ්ඩ තෙම ශ්‍රමණ ගෞතමයන් දැකීමට පැමිණෙන්නේය යනු සත්‍යයක් දැ?”යි.
“පින්වත්නි, මට මෙසේ සිතෙයි: ‘මමද ශ්‍රමණ ගෞතමයන් දැකීමට පැමිණෙන්නෙමි’යි.”
7. “භවත් සොණදණ්ඩයෝ ශ්‍රමණ ගෞතමයන් දැකීමට නොපැමිණෙත්වා! භවත් සොණදණ්ඩ තෙමේ ශ්‍රමණ ගෞතමයන් දැකීම පිණිස පැමිණීම නුසුදුසුය. ඉදින් භවත් සොණදණ්ඩ තෙමේ ශ්‍රමණ ගෞතමයන් දැකීමට පැමිණෙන්නේ නම්, භවත් සොණදණ්ඩගේ කීර්තිය පිරිහෙන්නේය, ශ්‍රමණ ගෞතමයන්ගේ කීර්තිය වැඩෙන්නේය. යම්හෙයකින් භවත් සොණදණ්ඩගේ කීර්තිය පිරිහෙන්නේද, ශ්‍රමණ ගෞතමයන්ගේ කීර්තිය වැඩෙන්නේද මේ කාරණයෙනුදු භවත් සොණදණ්ඩ තෙමේ ශ්‍රමණ ගෞතමයන් දැකීමට පැමිණීම නුසුදුසුය. ශ්‍රමණ ගෞතම තෙමේම භවත් සොණදණ්ඩ දැකීමට පැමිණීම සුදුසුය.