3.
අම්බට්ඨ සූත්රය
1. මා විසින් මෙසේ අසනලදී. (මාගේ ඇසීම මෙසේයි) එක්කාලයෙක්හි භාග්යවතුන් වහන්සේ පන්සියයක් පමණවූ මහා භික්ෂු සංඝයා වහන්සේ සමග කොසොල් රටෙහි ඇවිදීමෙන් හැසිරෙනසේක් කොසොල් රට වැස්සන්ගේ ඉච්ඡානංගල නම් බමුණුගම යම් තැනෙක්හිද එහි වැඩියේය. භාග්යවතුන් වහන්සේ එහි ඉච්ඡානංගල වනයෙහි වාසය කෙළේය,
2. එකල පොක්ඛරසාති බමුණු තෙමේ බොහෝ මිනිසුන්ගෙන් හා බොහෝ සතුන්ගෙන් ගහනවූ, තණ, දැවදඬු, දිය හා ධාන්ය ඇත්තාවූ, රජුන්ගෙන් ලබන ලද්දාවූ පසේනදී කොසොල් රජු විසින් දුන් හෙයින් රාජ දායාදයක්වූ උතුම් කොට දෙන ලද්දක්වූ උක්කට්ඨා නුවර වෙසෙයි. ‘එකල්හි පොක්ඛරසාති බමුණු තෙමේ (මේ පුවත) ඇසී:
“ශාක්යපුත්රවූ, ශාක්යකුලයෙන් නික්ම පැවිදිවූ, ශ්රමණ භවත් ගෞතමයන් වහන්සේ වූ කලී පන්සියයක් පමණවූ මහාභික්ෂු සමූහයක් සමග කොසොල් දනව්වෙහි චාරිකාවේ හැසිරෙනසේක් ඉච්ඡානංගලයට පැමිණ ඉච්ඡානංගල වනයෙහි වාසයකරයි. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳුවූ මනොඥවූ ස්තුති ඝොෂාවක් උස්ව නැංගේය. ඒ භාග්යවතුන් වහන්සේ මේ මේ කාරණයෙන්ද අර්හත්හ, සම්යක් සම්බුද්ධයහ, විදර්ශනාඥානය ආදී ඥාන අටෙන්ද සීල සංවරය ආදී (චරණ) හසුරුවන ධර්ම පහළොවෙන්ද යුක්තහ. යහපත් ගතිඇත්තාහ, සියලු ලෝකයන් දන්නාහ, ශ්රේෂ්ඨයහ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූහ, දිව්ය මනුෂ්යයන්ට ගුරුවරයෙක් වූහ. බුද්ධයහ, භාග්යවත්හ, ඒ භාග්යවතුන් වහන්සේ දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බඹුන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ රජුන් හා මිනිසුන් සහිතවූ සත්ව වර්ගයා ඇතුළු සියලු ලෝකය තමන් වහන්සේම මනාව පැහැදිලි කොට දැන ප්රකාශ කරණසේක. උන්වහන්සේම මුල මැද අග යන තුන්තන්හි යහපත්වූ අර්ථ සහිතවූ, දස ආකාරයෙන් නියම විදියට වචන ශබ්ද කිරීම ඇත්තාවූ සම්පූර්ණවූ, පිරිසිදුවූ, ධර්මානුශාසනාව ප්රකාශ කරණසේක. එබඳුවූ, රහතුන්ගේ දැකීමක් වේනම් ඒ යහපත්මැයි කියායි.
3. එකල පොක්ඛරසාති බමුණහට සිටි අම්බට්ඨ නම් තරුණ ශිෂ්යයා (තමා වෙතින්) මන්ත්ර කටපාඩමේ කියන්නාවූ, වේදමන්ත්ර දන්නාවූ, නාමනිඝණ්ටු යාග ආදී කටයුතු පිළිවෙළ ශික්ෂානිරුක්ති නම් වේදයෙහි කොටස යන ප්රභෙදයන් ඇති, ඉතිහාසය පස්වැනි කොට ඇති වෙදත්රයයේ කෙළවරට ගියාවූ, පද හා ව්යාකරණ කටපාඩමේ කියන්නාවූ විතණ්ඩශාස්ත්රයේත් මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්රයේත් අති දක්ෂවූ, ‘යමක් මම දනිම් නම් එය නුඹත් දනී. නුඹ යමක් දනී නම් එයම මමත් දනිමි’ යන ගුරුන්ගේ ප්රකාශයට ‘එසේමය’යි උත්තර දුන් ආචාර්යයන්ගේ ත්රිවෙදය පිළිබඳ ධර්මයෙහි සියල්ල දත්තා විය.
4. ඉක්බිති පොක්ඛරසාති බමුණු තෙමේ අම්බට්ඨ තරුණයා කැඳවා මෙසේ කීය. “දරුව අම්බට්ඨය, යව ශාක්ය පුත්රවූ, ශාක්යකුලයෙන් නික්ම පැවිදිවූ, ශ්රමණගෞතමයන් වහන්සේ පන්සීයක් පමණවූ මහාභික්ෂු සමූහයක් සමග කොසල ජනපදයෙහි ඇවිදිමින් හැසිරෙන සේක් ඉච්ඡානංගලයට පැමිණි ඉච්ඡානංගල වනාන්තරයෙහි වාසය කරයි.
ඒ භාග්යවතුන් වහන්සේගේ මෙබඳුවූ යහපත් කීර්තිරාවයක් උස්ව නැංගේය. (කෙබඳුවූද යත්:) මේ මේ කාරණයෙනුදු ඒ භාග්යවතුන් වහන්සේ අර්හත්හ, සම්යක් සම්බුද්ධයහ, සර්ව සම්පූර්ණවූ, පිරිසිදුවූ බ්රහ්මචර්යාව ප්රකාශ කරයි. එබඳුවූ රහතුන්ගේ දැකීමක් වේනම් යහපත්මැයි” කියායි.
“දරුව අම්බට්ඨය, එව, නුඹ මහණ ගොයුම්හු යම් තැනෙක්හි නම් එහි යව. ගොස් ඉඳින් ඒ භවත් ගෞතමයන්ගේ ඇතිසැටියක් නිසාම කීර්ති ශබ්දයක් පැතිර ගියේද නොවේ නම් එසේ නුවූවක් පිළිබඳවද, උන්වහන්සේ එබඳුද, නැත්නම් එබඳු නොවේදැයි, එපරිද්දෙන් ශ්රමණ ගෞතමයන් දනුව. අපි ඒභවත් ගෞතමයන් වහන්සේ දැනගනුම්හ.”
5. “පින්වත, ඉදින් ඒ භවත් ගෞතමයන් වහන්සේගේ ඇත්තාවූ ගුණයන් නිසාම මේ කීර්තිරාවය පැතිර ගියේ ද, ඉදින් එසේ නොවේද, ඉදින් ඒ භවත් ගෞතමයෝ එබඳුද, ඉදින් එසේ නොවේදැයි මම කෙසේ නම් දැනගන්නෙම්ද?”
6. “දරුව අම්බට්ඨය, අපගේ වෙද මන්ත්රයන්හි දෙතිස් මහපුරිස් ලකුණු සඳහන්වේමය. ඒ ලක්ෂණයන්ගෙන් යුක්තවූ මහා පුරුෂහට ගති දෙකෙක්ම වෙති. අනිකෙක් නැත. ඉදින් ගිහිගෙයි වසයි නම් ධාර්මිකවූ ධර්මරජෙක්වූ, හතර දීපයට අධිපතිවූ, දිනන ස්වභාව ඇතිවූ, ජනපදයන්හි ස්ථිරවූ සත් රත්නයන් අයිතිවූ සක්විති රජ වෙයි. මොවුහු ඔහුගේ සත්රත්නයෝ වෙති. එනම්: චක්රරත්නය, ඇත් රත්නය, අශ්වරත්නය, මාණික්යරත්නය, ස්ත්රීරත්නය, ගෘහපති රත්නය, සත්වැනිවූ පුත්ර රත්නයද යන සත්රත්නයෝයි. භය නැතිවූ දිව්යපුත්රයන්ට සමාන වීර්ය සම්පන්න ශරීර ඇත්තාවූ, සතුරු සේනාවන් මැඩපවත්වන්නාවූ, දහසකටත් අධිකවූ පුත්රයෝ ඒ සක්විති රජුට වෙත්. හෙතෙමේ සයුර කෙළවරකොට ඇති මේ පෘථවිය දඬුවම් කිරීම් නැතුව යුද්ධ කිරීම් නැතුව ධර්මයෙන් දිනා අධිපතිව වෙසෙයි.
ඉදින් හෙතෙම ගිහිගෙන් නික්මී අනගාරියවූ සාසනයේ පැවිදිවෙයි නම් ලෝකයේ කෙලෙස් වලින් යුත් ඝන අන්ධකාර වැස්ම දුරු කළාවූ අර්හත්වූ සම්යක්සම්බුද්ධ වෙයි. දරුව අම්බට්ඨය, මම වනාහි වෙදමන්ත්ර උගන්වන්නා වෙමි, නුඹ වෙදමන්ත්රයන් කට පාඩමෙන් කියන්නා වෙයි.”