2.
සාමඤ්ඤ ඵල සූත්රය
1. මාගේ ඇසීම මෙසේය. (මා විසින් මෙසේ අසන ලදී.) එක් කාලයෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර අසල කොමාර භච්ච ජීවකයන්ගේ අඹවනෙහි මහා භික්ෂු සංඝයාවූ භික්ෂූන් එක්දහස් දෙසිය පනහක් සමග වාසය කෙළේය. ඒ කාලයේදී විදෙහදේවීගේ පුත්රයාවූ මගධ රට අජාසත් රජ එදවස් පැමිණි පසළොස්වක් පොහොය දවසේ හොඳාකාර පිපිනු සුදු පියුම් (කුමුදු) ඇත්තාවූ (අවුරුද්දේ) මාස හතරක් අවසානව මාසයන්ගේ පිරීම ඇත්තාවූ සම්පූර්ණ හඳ එලියෙන් බබලන රාත්රියෙහි රජ ඇමතියන් විසින් පිරිවරණ ලදුව උසස් මාලිගාවේ උඩුමහල් තලයට පැමිණ උන්නේය. එවිට විදේහදේවීගේ පුත්රයාවූ මගධ රජ අජාසත් රජ ඒ දවසේ පොහෝ දිනයෙහි මෙසේ ප්රිති වාක්යයක් ප්රකාශ කෙළේය.
“පින්වත්නි, පිරිසිදු (සඳ රැසින් පිරුණු) රාත්රිය සැබවින්ම ප්රීති ගෙන දෙයි. පින්වත්නි, පිරිසිදු රාත්රිය සැබවින්ම ලස්සන පෙනුමකි. (උසස් රූ ඇත්තීය, පින්වත්නි, පිරිසිදු රාත්රිය සැබවින්ම දැකීමට ප්රියය. පින්වත්නි, පිරිසිදු රාත්රිය සැබවින්ම හිත් සතුටු කරන්නීය. පින්වත්නි, පිරිසිදු රාත්රිය සැබවින්ම මතක තබාගැනීමට සුදුසුය. ලඟට ගොස් ආශ්රය කිරීමෙන් අපගේ හිත් පහදවා ගැනීමට කුමණ මහණෙකු හෝ බමුණෙකු අද සොයා යන්නෙමුද?”
2. මෙසේ කී කල එක්තරා රජ ඇමතියෙක් විදෙහදේවීගේ පුත්ර මගධරට අජාසත් රජුට මෙසේ කීය: ‘දේවයන් වහන්ස, මේ පූරණ කාශ්යපයන්ට (මහණ) සමූහයා ඇත්තේය. පිරිස ඇත්තේය. පිරිසට ගුරුවරයෙකි. ප්රසිද්ධ කීර්තියක් දරන්නෙකි. තීර්ථක ධර්මදේශනා කරන්නේය. බොහෝදෙනා විසින් යහපත්යයි පිළිගෙන තිබේ. බොහෝ කල් පැවිදිව සිටින්නෙකි. බොහෝ කල් ගතවී ගොස් මහලු (අවසාන) වයසට පැමිණියේය. දේවයන් වහන්සේ ඒ පූරණ කාශ්යප ආශ්රය කෙරෙත්වා. ඔහු ආශ්රය කරන ඔබගේ සිත හොඳින් පහදින්නේය.” මෙසේ කීකල විදෙහ දේවීගේ පුත්ර මගධරට අජාසත් රජ නිශ්ශබ්ද විය.
3. තවද එක්තරා රජ ඇමතියෙක් විදෙහදේවියගේ පුත්ර මගධරට අජාසත් රජුට මෙසේ කීය. “දේවයන් වහන්ස, මේ මක්ඛලිගොසාලටද (මහණ) සමූහයා ඇත්තේය. පිරිස ඇත්තේය. පිරිසට ගුරුවරයෙකි. ප්රසිද්ධ කීර්තියක් දරන්නෙකි. තීර්ථක ධර්මදේශනා කරන්නේය. බොහෝ දෙනා විසින් යහපත්යයි පිළිගෙන තිබේ. පැවිදිව බොහෝ කල් ඇත්තේය. බොහෝ කල් ගතවී ගොස් මහලු (අවසාන) වයසට පැමිණියේය. දෙවයන්වහන්සේ ඒ මක්ඛලිගොසාලයන් ආශ්රය කෙරෙත්වා ඔහු ආශ්රය කරන ඔබගේ හිත හොඳින් පහදින්නේය. මෙසේ කී කල විදෙහදේවීගේ පුත්ර මගධරට අජාසත් රජ නිශ්ශබ්ද විය.
4. තවද එක්තරා රජ ඇමතියෙක් විදේහදෙවීගේ පුත්ර මගධරට අජාසත් රජුට මෙසේ කීය: “දේවයන් වහන්ස, මේ අජිත කෙසකම්බලට (මහණ) සමූහයා ඇත්තේය. පිරිස ඇත්තේය. පිරිසට ගුරුවරයෙකි. ප්රසිද්ධ කීර්තියක් දරන්නෙකි. තීර්ථක ධර්මදේශනා කරන්නේය. බොහෝ දෙනා විසින් යහපත්යයි පිළිගෙන තිබේ. (රාත්රඥය) බොහෝ කල් දන්නෙකි. බොහෝ කල් පැවිදිව සිටින්නෙකි. බොහෝකල් ගතවී ගොස් මහලු (අවසාන) වයසට පැමිණියේය. දේවයන් වහන්සේ ඒ අජිත කෙසකම්බලයන් ආශ්රය කෙරෙත්වා. ඔහු ආශ්රය කරන ඔබගේ සිත හොඳින් පහදින්නේය.” මෙසේ කී කලද විදෙහදේවීගේ පුත්ර මගධරට අජාසත් රජ නිශ්ශබ්ද විය.
5. තවද එක්තරා රජ ඇමතියෙක් විදෙහදේවීගේ පුත්ර මගධරට අජාසත් රජුට මෙසේ කීය: “දේවයන් වහන්ස, මේ පකුධකච්චායනට (මහණ) සමූහයා ඇත්තේය. පිරිස ඇත්තේය. පිරිසට ගුරුවරයෙකි. ප්රසිද්ධ කීර්තියක් දරන්නෙකි. තීර්ථක ධර්මදේශනා කරන්නේය. බොහෝ දෙනා විසින් යහපත්යයි පිළිගෙන තිබේ. (රාත්රඥය) බොහෝ කල් දන්නෙකි. බොහෝ කල් පැවිදිව සිටින්නෙකි. බොහෝ කල් ගතවී ගොස් මහලු (අවසාන) වයසට පැමිණියේය. දේවයන් වහන්සේ ඒ පකුධකච්චායන ආශ්රය කෙරෙත්වා. ඔහු ආශ්රය කරන ඔබගේ සිත හොඳින් පහදින්නේය.” මෙසේ කී කලද විදෙහදේවිගේ පුත්ර මගධරට අජාසත් රජ නිශ්ශබ්ද විය.
6. තවද එක්තරා රජ ඇමතියෙක් විදෙහදේවීගේ පුත්ර, මගධරට අජාසත් රජුට මෙසේ කීය: “දේවයන් වහන්ස, මේ සඤ්ජය බෙලට්ඨ පුත්තට (මහණ) සමූහයා ඇත්තේය. පිරිස ඇත්තේය. පිරිසට ගුරුවරයෙකි. ප්රසිද්ධ කීර්තියක් දරන්නෙකි. තීර්ථක ධර්මදේශනා කරන්නේය. බොහෝ දෙනා විසින් යහපත්යයි පිළිගෙන තිබේ. (රාත්රඥය) බොහෝ කල් දන්නෙකි. බොහෝ කල් පැවිදිව සිටින්නෙකි. බොහෝ කල් ගතවී ගොස් මහලු (අවසාන) වයසට පැමිණියේය. දේවයන් වහන්සේ ඒ සඤ්ජය බෙලට්ඨ පුත්ත ආශ්රය කෙරෙත්වා. ඔහු ආශ්රය කරන ඔබගේ සිත හොඳින් පහදින්නේය.” මෙසේ කී කලද විදෙහදේවීගේ පුත්ර මගධරට අජාසත් රජ නිශ්ශබ්ද විය.
7. තවද එක්තරා රජ ඇමතියෙක් විදෙහදේවියගේ පුත්ර මගධරට අජාසත් රජුට මෙසේ කීය: “දේවයන් වහන්ස, මේ නිගණ්ඨනාථ පුත්රට (මහණ) සමූහයා ඇත්තේය. පිරිස ඇත්තේය. පිරිසට ගුරුවරයෙකි. ප්රසිද්ධ කීර්තියක් දරන්නෙකි. තීර්ථක ධර්ම දේශනා කරන්නේය. බොහෝදෙනා විසින් යහපත්යයි පිළිගෙන තිබේ. (රාත්රඥය) බොහෝ කල් දන්නෙකි. බොහෝ කල් පැවිදිව සිටින්නෙකි. බොහෝ කල් ගතවී ගොස් මහලු (අවසාන) වයසට පැමිණියේය. දේවයන් වහන්සේ ඒ නිගණ්ඨනාථ පුත්ර ආශ්රය කෙරෙත්වා. ඔහු ආශ්රය කරන ඔබගේ සිත හොඳින් පහදින්නේය.” මෙසේ කී කලද විදෙහදේවීගේ පුත්ර මගධරට අජාසත් රජ නිශ්බ්ද විය.
8. එකල්හි කොමාරභච්ච ජීවක නිශ්ශබ්දව අජාසත් රජ සමීපයෙහි උන්නේවිය. එවිට අජාසත් රජ, “යහලු ජීවකය, ඔබ කුමක් නිසා නිශ්ශබ්දව සිටින්නාහුදැයි” කොමාරභච්ච ජීවකයාගෙන් ඇසීය.