13.
තෙවිජ්ජ සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. (මාගේ ඇසීම මෙසේය) එක් කලක භාග්යවතුන් වහන්සේ පන්සියයක් භික්ෂූන්ගෙන් යුත් මහා භික්ෂු සංඝයා සමග කොසොල් රට ගමන් කරමින් එන අතර මනසාකට නම් කොසොල් රට වැසියන්ගේ බමුණු ගම යම් තැනකද එතනට පැමිණියෝය. එහි භාග්යවතුන් වහන්සේ මනසාකට බමුණු ගමට සමීපවූ උතුරු පැත්තෙහි අචිරවතී ගංගා ඉව්රෙහිවූ අඹවනයෙහි වාසය කරණ සේක.
2. ඒ කාලයෙහි බොහෝවූ කුලචාරිත්රාදියෙන් ප්රසිද්ධ ප්රසිද්ධවූ මහා සාර කුලවත් බ්රාහ්මණයෝ මනසාකට බමුණු ගමෙහි වාසය කෙරෙත්. ඔව්හු කවරහුදයත්, චංකී බ්රාහ්මණ තෙමේද, තාරුක්ඛ බ්රාහ්මණ තෙමේද, පොක්ඛරසාති බ්රාහ්මණ තෙමේද, ජානුස්සොණි බ්රාහ්මණ තෙමේද, තොදෙය්ය බ්රාහ්මණ තෙමේද, මෙයින් අන්යවූ ප්රසිද්ධ කුලවල බ්රාහ්මණයෝද වෙති.
3. එවිට බොහෝ වේලා වාඩිවී හිඳීමෙන් ඇති ශරීර විඩාව දුරුකර ගැනීම සඳහා සක්මන් කරමින් හැසිරෙන්නාවූ පොක්ඛරසාති බ්රාහ්මණයාගේ ගෝලයකුවූ වාසෙට්ඨ බ්රාහ්මණයාද තාරුක්ඛ බ්රාහ්මණයාගේ ගෝලයකුවූ භාරද්වාජ බ්රාහ්මණයාද යන දෙදෙනා අතර මාර්ග හා අමාර්ග ගැන කථාවක් ඇතිවිය. එවිට වාසෙට්ඨ තරුණයා මෙසේ කියයි: ‘පොක්ඛරසාති බ්රාහ්මණයා විසින් යම් මාර්ගයක් කියන ලද්දේ නම් මෙයම ඇද නැති මාර්ගය වේ. මේ මාර්ගයම එතෙර කරන්නේ වෙයි. ඒ පිළිපදින්නා බ්රහ්මයා සමග එක්වීම පිණිස පවතියි’ යනුයි.
4. භාරද්වාජ තරුණයා මෙසේ කියයි: ‘තාරුක්ඛ බ්රාහ්මණයා විසින් යම් මාර්ගයක් කියන ලද්දේ නම් මෙයම ඇද නැති කෙලින් මාර්ගය වේ. මේ මාර්ගයම එතෙර කරන්නේ වේ. ඒ පිළිපදින්නා බ්රාහ්මයා සමග එක්වීම පිණිස පවතියි’ යනුයි. වාසෙට්ඨ තරුණයා විසින් භාරද්වාජ තරුණයාට ඔහුගේ කථාව පිළිගන්වන්ට නොහැකිවිය. භාරද්වාජ තරුණයාටද වාසෙට්ඨ තරුණයාට ඔහුගේ කථාව පිළිගන්වන්ට නොහැකි විය.
5. එවිට වාසෙට්ඨ තරුණයා භාරද්වාජ තරුණයාට කථා කර මෙසේ කීවේය: “භාරද්වාජය, ශාක්ය පුත්රවූ ශාක්ය කුලයෙන් නික්ම මහණවූ ශ්රමණ ගෞතමයන් වහන්සේ මනසාකට නම් බමුණු ගමට සමීපයෙහිවූ උතුරු පැත්තෙහි අචිරවති ගංගා ඉවුරෙහිවූ අඹ වනයෙහි වාසය කරති. ඒ භවත් ගෞතමයන් වහන්සේ ගැන මෙසේ යහපත් කීර්ති ඝොෂාවක් උස්ව නැංගේය: ‘ඒ භාග්යවතුන් වහන්සේ මේ කාරණයෙන් අර්හත්යහ, සම්යක් සම්බුද්ධයහ, අෂ්ට විද්යා පසළොස්චරණ ධර්මයන්ගෙන් සම්පූර්ණයහ, ශොභන ගමන් ඇත්තාහ, තුන් ලෝකය දන්නාහ, ශ්රේෂ්ඨවූ හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනියහ, දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නාහ, සම්යක් සම්බුද්ධයහ, භාග්යවත්හ’ කියායි. පින්වත් භාරද්වාජය යමු. ශ්රමණ ගෞතමයන් වහන්සේ යම් තැනකද එතනට පැමිණෙමු. පැමිණ මේ කාරණය ශ්රමණ ගෞතමයන් වහන්සේගෙන් අසමු. ශ්රමණ ගෞතමයන් වහන්සේ යම් පරිද්දෙකින් අපට කියත්ද, එසේ මේ කාරණය පිළිගනිමුයි.” “පින්වත, එසේ යයි” භාරද්වාජ තරුණයා වාසෙට්ඨ තරුණයාට පිළිවදන් දුන්නේය.
6. එවිට වාසෙට්ඨ භාරද්වාජ තරුණයෝ දෙදෙන භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතනට පැමුණුනාහුය. පැමිණ භාග්යවතුන් වහන්සේ සමග සතුටුවූහ. සතුටු වියයුතු සිහිකටයුතු කථාව අවසන්කොට එක පැත්තක උන්හ. එක පැත්තක උන් වාසෙට්ඨ තරුණයා භාග්යවතුන් වහන්සේට මේ කාරණය දැන්නුවේය: “භවද් ගෞතමයන් වහන්ස, දවස මුළුල්ලේ හිඳීමෙන් ඇතිවූ අපහසුව මඟහරවා ගැනීම සඳහා එහා මෙහා සක්මන් කරමින් සිටි අප අතර මාර්ග අමාර්ග දෙක ගැන කථාවක් උපන්නේය. මම මෙසේ කීයෙමි: ‘පොක්ඛරසාති බ්රාහ්මණයා විසින් යම් මේ මාර්ගයක් කියන ලද්දේද මෙයම කෙලින් මාර්ගය වේ. මේ මාර්ගයම එතරට පමුණුවන මාර්ගය වේ. ඒ මාර්ගයෙහි පිළිපැදීම බ්රහ්මයා සමග එක්වීම පිණිස පවතීය’ යනුයි. භාරද්වාජ තරුණයා මෙසේ කියයි: ‘තාරුක්ඛ බ්රාහ්මණයා විසින් යම් මේ මාර්ගයක් කියන ලද්දේ නම් මෙයම කෙලින් මාර්ගය වේ. මේ මාර්ගයම එතරට පමුණුවන මාර්ගය වේ. ඒ මාර්ගයෙහි පිළිපැදීම බ්රහ්මයා සමග එක්වීම පිණිස පවතීය’ යනුයි. භවද් ගෞතමයන් වහන්ස, මෙහි විරුද්ධ ගැනීම් ඇත්තේමය. විරුද්ධවාද ඇත්තේමය. නොයෙක් වාද ඇත්තේමය”ති.
7. “වාසෙට්ඨය, ඔබ මෙසේ කියන්නෙහිද: ‘පොක්ඛරසාති බ්රාහ්මණයා විසින් යම් මේ මාර්ගයක් කියන ලද්දේ නම් මෙයම කෙලින් මාර්ගය වේ. මේ මාර්ගයම එතරට පමුණුවන මාර්ගය වේ. ඒ මාර්ගය ලෙස පිළිපදින්නහුගේ බ්රහ්මයා සමග එක්වීම පිණිස පවතීය’ කියා? භාරද්වාජ තරුණයා මෙසේ කියයි: ‘තාරුක්ඛ බ්රාහ්මණයා විසින් යම් මේ මාර්ගයක් කියන ලද්දේ නම් මෙයම කෙලින් මාර්ගය වේ. මේ මාර්ගයම එතරට පමුණුවන්නේය. ඒ මාර්ගය ලෙස පිළිපැදීම බ්රහ්මයා සමග එක්වීම පිණිස පවතිය’ යනුයි. වාසෙට්ඨය, එසේම නම් තොපගේ විරුද්ධ ගැනීම කුමක් ගැනද? විවාදය කුමක් ගැනද? වෙනස්වූ කීම කුමක් ගැන දැයි”?
8. “මග්ගාමග්ගය (මාර්ග අමාර්ගය) ගැන ය, භවත් ගෞතමයන් වහන්ස. භවද් ගෞතමයන් වහන්ස, යම් සේ අද්ධරිය බ්රාහ්මණයෝය, තිත්තිරිය බ්රාහ්මණයෝය, ඡන්දොකා බ්රාහ්මණයෝය, බව්හිරිචා බ්රාහ්මණයෝය යනාදී බ්රාහ්මණයෝ නොයෙක් මාර්ගයන් ප්රකාශ කරත්ද, ඒ සියලු මාර්ග බඹලොවට පමුණු වන්නාහු ඒ මාර්ගයන්හි පිළිපදින්නහුගේ බ්රහ්මයා සමග එක්වීම පිණිස පවතිත්. භවද් ගෞතමයන් වහන්ස, යම්සේ ගමකට හෝ නියම් ගමකට සමීපයෙහි බොහෝවූ නොයෙක් මාර්ගයෝ වෙත්ද, ඒ සියලු මාර්ග ගමට ඇතුල් වන්නාහුම වෙත්ද, එපරිද්දෙන්ම භවද් ගෞතමයන් වහන්ස, යම්සේ අද්ධරිය බ්රාහ්මණයෝය, තිත්තිරිය බ්රාහ්මණයෝය, ඡන්දොකා බ්රාහ්මණයෝය, බව්හිරිචා බ්රාහ්මණයෝය යනාදී බ්රාහ්මණයෝ නොයෙක් මාර්ගයන් ප්රකාශ කරත්ද, ඒ සියලු මාර්ග බඹලොවට පමුණුවන්නාහු වෙති. ඒ මාර්ගයෙහි පිළිපැදීම බ්රහ්මයා සමග එක්වීම පිණිස පවතියි.”
9. “වාසෙට්ඨය, (ඒවා) එතර කරන්නේ යැයි කියන්නෙහිද?”
“භවද් ගෞතමයන් වහන්ස, එතර කරන්නේ යැයි කියමි”.
“වාසෙට්ඨය, (ඒවා) එතර කරන්නේ යැයි කියන්නෙහිද?”
“භවද් ගෞතමයන් වහන්ස, එතර කරන්නේ යැයි කියමි”.