12.
ලොහිච්ච සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් පන්සියයක් පමණවූ මහා භික්ෂු සංඝයා සමග කොසොල් රට ගමන් කරමින් වඩිනා කල සාලවතිකා නම් ගම යම් තැනකද එතැනට වැඩිසේක. එකල ලොහිච්ච බ්‍රාහ්මණතෙම ගව මහිසාදී බොහෝ සතුන් ඇත්තාවූ බොහෝ ලීදඬු, වැව්, පොකුණු ආදියෙන් යුක්තවූ, බොහෝ ධාන්‍ය සහිතවූ, රජුන් විසින් දෙන ලද්දාවූ, රජුගෙන් ලැබූ තෑග්ගවූ පසේනදී කොසොල් රජු විසින් දෙන ලද සාලවතිකා නම් ගම ප්‍රධානියාව වාසය කරයි.
2. එකල ලොහිච්ච නම් බ්‍රාහ්මණයාහට මෙවැනි ලාමකවූ මිථ්‍යාදෘෂ්ටි අදහසක් උපන්නේය: ‘මේ ලෝකයෙහි මහණෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ යම් කුසල කර්මයකට පැමිණෙන්නේද කුසල කර්මයකට පැමිණ අනුන්ට ප්‍රකාශ නොකරන්නේය. අනිකෙක් අනිකෙකුට කුමක් කරන්නේද? පරණ බැම්මක් කපා වෙන අලුත් බැම්මක් බඳින්නේ යම්සේද මෙය එවැනිවූ ලාමක ලෝභයකැයි කියමි. අනිකෙක් අනිකෙකුට කුමක් කරන්නේද?’ කියායි.
3. ‘ශාක්‍ය පුත්‍රවූ ශාක්‍ය කුලයෙන් ගොස් මහණවූ ශ්‍රමණ භවද් ගෞතම තෙම භික්ෂූන් පන්සියයක් පමණවූ මහා භික්ෂු සංඝයා සමග කොසොල් රට ගමන් කරන අතර සාලවතිකා නම් ගමට වැඩියේය’යි ලොහිච්ච බ්‍රාහ්මණයාට අසන්ට ලැබුණේය. ඒ භාග්‍යවත් ගෞතමයානන් වහන්සේ ගැන මෙවැනි හිත් සතුටු කරන කීර්ති ඝොෂාවක් පැන නැංගේය: ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන් අර්හත්වූසේක. සම්‍යක් සම්බුද්ධවූසේක, විදර්ශනාඥාන ආදී විද්‍යා අට සීලසංවරය ආදී හසුරුවන ධර්ම පසළොස යන අෂ්ටවිද්‍යා පසළොස් චරණධර්මයන්ගෙන් යුක්තවූසේක. යහපත් ගමන් ඇතිසේක. සියලු ලෝකයන් දන්නාසේක. ශ්‍රේෂ්ඨවූ, හික්ම විය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිසේක. දෙවි මිනිසුන්ට ගුරුවරයෙක් වූසේක. සත්‍යවූ උතුම් ධර්ම සතර අවබෝධ කළසේක. ඒ තථාගත තෙමේ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් හා මිනිසුන් සහිතවූ, සත්ත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයෙන් දැන අවබෝධකොට ප්‍රකාශ කෙරේ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ථ සහිතවූ, දස ආකාරයෙන් නියම විදියට වචන ශබ්දකරන්නාවූ සියලු ලෙසින් සම්පූර්ණවූ, පිරිසිදුවූ, සියලු ශාසන මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව ගෙනහැර දක්වති’යි. ලොහිච්ච බ්‍රාහ්මණ තෙම මෙය අසා ‘එවැනි රහතුන්ගේ දැකීම යහපත්වේය’යි සිතුවේය.
4. එවිට ලොහිච්ච බ්‍රාහ්මණ තෙම රොසික (භේසික) නම් ඇම්බැට්ටයාට අඬගසා මෙසේ කීවෙය: “යහලු රොසිකය, මෙහි එන්න. ශ්‍රමණ භවද් ගෞතමයන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණෙන්න. පැමිණ, ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ආබාධ නැති බව, රෝග නැති බව සැහැල්ලු පැවතුම ඇති බව, ශරීර ශක්තිය ඇති බව, සැපයෙන් වාසය කිරීම යන කරුණු ලොහිච්ච බ්‍රාහ්මණයා අසන්නේයයි මාගේ වචනයෙන් අසන්න. අසා, ‘හෙට දිනයෙහි ලොහිච්ච බ්‍රාහ්මණයාගේ භොජනය භවත් ගෞතමයන් වහන්සේ භික්ෂු සංඝයා සමග පිළිගන්නාසේක්වා’යිද දැනුම් දෙන්න”.
5. “ස්වාමීනි, එසේයයි” රොසික නම් ඇම්බැට්ටයා ලොහිච්ච බ්‍රාහ්මණයාගේ වචනය සතුටින් පිළිගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කොට එක පැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ රොසික නම් ඇම්බැට්ටයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළේය: “ස්වාමීන් වහන්ස, ලොහිච්ච බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේගේ ආබාධ නැති බවද රොග නැති බවද සැහැල්ලු පැවතුම් ඇති බවද ශරීර ශක්තිය ඇති බවද සැපයෙන් වාසය කිරීමද යන මේ කරුණු විචාරයි. මෙසේද කියයි: ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, සෙට දවසෙහි ලොහිච්ච බ්‍රාහ්මණයාගේ භෝජනය භික්ෂු සංඝයා සමග පිළිගනිත්වා’යි.” භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් එය පිළිගත්තේය.
6. එකල රොසික නම් ඇම්බැට්ටයා භාග්‍යවතුන් වහන්සේගේ පිළිගැනීම දැන උන්තැනින් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ලොහිච්ච බ්‍රාහ්මණ තෙම යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ ලොහිච්ච බ්‍රාහ්මණයාට මෙසේ කීයේය: “පින්වත, අපි ඔබගේ වචනයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේට, ‘ස්වාමීන් වහන්ස, ලොහිච්ච බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේගේ ආබාධ නැති බව, රොග නැති බව, සැහැල්ලු පැවතුම් ඇති බව, සැපයෙන් වාසය කිරීම යන කරුණු විචාරයි. මෙසේද කියයි: ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ලොහිච්ච බ්‍රාහ්මණයාගේ භෝජනය සෙට දවසෙහි භික්ෂු සංඝයා සමග පිළිගනිත්වා’යි කීවෙමු. භාග්‍යවතුන් වහන්සේ විසින් එය පිළිගන්නා ලද්දේය”.
7. එවිට ලොහිච්ච බ්‍රාහ්මණතෙම ඒ රාත්‍රිය ඇවෑමෙන් සිය නිවසෙහි මිහිරිවූ කෑ යුතු දේද, වැළඳිය යුතු දේද පිළියෙළ කරවා රොසික නම් ඇම්බැට්ටයාට කථාකර මෙසේ කීයේය: “යහලුව රොසිකය මෙහි එන්න, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ යම් තැනකද එතනට පැමිණෙව, පැමිණ ශ්‍රමණ ගෞතමයන් වහන්සේට ‘භවද් ගෞතමයන් වහන්ස, භෝජනය පිළියෙළ කරන ලද්දේය. ඊට කාලයයි’ කාලය දන්වනු.” “ස්වාමීනි, එසේය”යි කියා රොසික නම් ඇම්බැට්ටයා ලොහිච්ච බ්‍රාහ්මණයාගේ වචන අසා පිළිගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට නමස්කාරකොට එක පැත්තක සිටියේය. එක පැත්තක සිටියාවූ රොසික නම් ඇම්බැට්ටයා “ස්වාමීන් වහන්ස, භෝජනය සූදානම් කරන ලද්දේය. ඊට කාලයයි” භාග්‍යවතුන් වහන්සේට කාලය දැන්නුවේය. එවිට භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන භික්ෂු සංඝයා සමග සාලවතිකා නම් ගම යම් තැනකද එතනට වැඩියෝය.
8. එකල රොසික නම් ඇම්බැට්ටයා භාග්‍යවතුන් වහන්සේ පසු පස්සෙන් ගමන් කෙළේය. එකල්හි රොසික නම් ඇම්බැට්ටයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය: “ස්වාමීන් වහන්ස, ලොහිච්ච බ්‍රාහ්මණයාහට ලාමකවූ මෙවැනි වැරදි මතයක් උපන්නේය: ‘මේ ලෝකයෙහි මහණෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ කුශල ධර්මයට පැමිණෙන්නේද, කුශල ධර්මයට පැමිණ අනුන්ට එය ප්‍රකාශ නොකරන්නේය. අනිකෙක් අනිකෙකුට කුමක් කරන්නේද? පැරණි බැම්මක් කපාදමා වෙන අලුත් බැම්මක් කරන්නේ යම් සේද මේ ලාමකවූ ලෝභය එසේම යයි කියමි. අනිකෙක් අනිකෙකුට කුමක් කරන්නේදැයි’ කියාය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ලොහිච්ච බ්‍රාහ්මණයා ලාමකවූ මේ වැරදි මතයෙන් මුදවන සේක්වා.” “එසේය භේසිකය, එසේය භේසිකය”.