11.
කේවට්ට සූත්‍රය
481. “මා විසින් මෙසේ අසන ලදී. (මාගේ ඇසීම මෙසේය) එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නුවර සමීපයේවූ පාවාරික සිටාණන්ගේ අඹවනයේ වාසය කරනසේක. එවිට කේවට්ට තෙමේ භාග්‍යවතුන්වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක උන්නේය. එක්පැත්තක උන්නාවූ ගෘහපතිපුත්‍ර කේවට්ට භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවේය: “ස්වාමීනි, මේ නාලන්දා නුවර පොහොසත්ය, දියුණුය. බොහෝ ජනයා ඇත්තේය. මිනිසුන්ගෙන් ගැවසීගත්තේය. ඔව්හු භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශේෂයෙන් පැහැදුණාහුය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යමෙක් මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි ප්‍රාතිහාර්යය කරන්නේද, එවැනි එක් භික්ෂුවක් ප්‍රාතිහාර්යය කිරීමට නියම කරණසේක්වා. මෙසේ ඍද්ධි ප්‍රාතිහාර්යය පැවැත්වූ කල්හි මේ නාලන්දා නුවර වාසය කරන ජනයා බොහෝසෙයින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශේෂයෙන් පහදින්නේය.”
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ කේවට්ට ගෘහපති පුත්‍රයාට මේ කාරණය කීසේක: “කේවට්ටය, මම මෙසේ භික්ෂූන්ට ධර්මදේශනා නොකරමි. මහණෙනි, එව්. ඔබ, සුදුවස්ත්‍ර අඳින්නාවූ ගිහියන්ට මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි ප්‍රාතිහාර්යය කරව්”යි.
482. දෙවනුවද, කේවට්ට ගෘහපතිපුත්‍ර භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය. “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ ගුණ නොනසමි. නැවතද, මෙසේ කියමි. ස්වාමීනි, මේ නාලන්දා නුවර පොහොසත්ය, දියුණුවට පැමිණියේය. බොහෝ ජනයා ඇත්තේය. මිනිසුන්ගෙන් ගැවසී ගත්තේය. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශේෂයෙන් ඔව්හු පැහැදුණාහ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යමෙක් මනුෂ්‍ය ධර්මයට වඩා උතුම් ධර්මයෙන් ඍද්ධි ප්‍රාතිහාර්යය කරන්නේද එබඳුවූ එක් භික්ෂුවක් ප්‍රාතිහාර්යය කිරීමට නියම කරණසේක්වා. මෙසේ ඍද්ධි ප්‍රාතිහාර්යය පැවැත්වූ කල මේ නාලන්දා වැසියෝ බොහොසේ භාග්‍යවතුන්වහන්සේ කෙරෙහි විශේෂයෙන් පහදින්නාහ.” දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ කේවට්ට ගෘහපති පුත්‍රයාට මේ කාරණය කීසේක. “කේවට්ටය, මම භික්ෂූන්ට මෙසේ ධර්මදේශනා නොකරමි. කෙසේද? “මහණෙනි, ඔබ, සුදු අඳින්නාවූ ගිහියන්ට මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි ප්‍රාතිහාර්යය කරව්” යයි කියාය.
තුන්වෙනුවද, කේවට්ට ගෘහපති පුත්‍ර භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය. “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ ගුණ නොනසමි. නැවතද මෙසේ කියමි. ස්වාමීනි, මේ නාලන්දා නුවර පොහොසත්ය, දියුණුවට පැමිණියේය. බොහෝ ජනයා ඇත්තේය. මිනිසුන්ගෙන් ගැවසී ගත්තේය. ඔව්හු භාග්‍යවතුන්වහන්සේ කෙරෙහි විශේෂයෙන් පැහැදුණාහ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යමෙක් මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි ප්‍රාතිහාර්යය කරන්නේද, එබඳුවූ එක් භික්ෂුවක් ප්‍රාතිහාර්යය කිරීමට නියම කරණසේක්වා. මෙසේ ඍද්ධි ප්‍රාතිහාර්යය පැවැත්වූ කල මේ නාලන්දා වැසියෝ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශේෂයෙන් පහදිත්ය” කියාය.
483. කේවට්ටය, මා විසින් විශේෂ ඥානයෙන් දැන අවබෝධ කොට ප්‍රකාශ කරනලද මේ ප්‍රාතිහාර්යයෝ තුන් දෙනෙක් වෙත්. එනම් (ඍද්ධි) නොයෙක් මැවීම් ආදිය කිරීමේ ප්‍රාතිහාර්යය (ආදේශනා) අනුන්ගේ සිත් දැක්වීමේ ප්‍රාතිහාර්යය (අනුසාසනී) අනුශාසනා කිරීමේ ප්‍රාතිහාර්යය යන තුනයි. 484. කේවට්ටය එයින් ඍද්ධි ප්‍රාතිහාර්යය කවරේද? “කේවට්ටය, මේ ශාසනයෙහි භික්ෂුතෙම නොයෙක් අයුරු ඇති ඍද්ධි විධි වෙන් වෙන් කොට දක්වයි. එකෙක්ව බොහෝසේ වෙයි. බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වතය හරහට නොහැපෙමින්යයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම් මතුවීම් කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කෙරෙයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්යංකයෙන් හිඳගෙනම යයි. මේ මහත් ඍද්ධි ඇති, මහත් ආනුභාව ඇති සඳ හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹලොව තෙක් ශරීරයෙන් වසඟ බව පවත්වයි.
මෙසේ නොයෙක් ඍද්ධි විධි වෙන් වෙන් කොට දක්වන්නාවූ, එකෙක්ව බොහොසේ වන්නාවූ, බොහෝසේව එකෙක් වන්නාවූ, ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වත හරහට නොහැපෙමින් යන්නාවූ දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම්, මතුවීම් කරන්නාවූ, පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්යංකයෙන් හිඳගෙන යන්නාවූ මේ මහත් ඍද්ධි ඇති, මහත් ආනුභාව ඇති, සඳ හිරු දෙදෙන අතගාන්නාවූ, පිරිමදින්නාවූ, බඹලොව තෙක් ශරීරයෙන් වසඟ බව කරන්නාවූ ඒ ඍද්ධිමත් භික්ෂුව පැහැදුනාවූ එක්තරා ශ්‍රද්ධාවන්තයෙක් දකී.
ඒ පැහැදුනාවූ ශ්‍රද්ධාවන්තයා (නොයෙක් අන්දමේ ඍද්ධි දක්වන්නාවූ එකෙක් ද වී බොහෝ සේ වන්නාවූ බොහෝසේව එකෙක් වන්නාවූ ප්‍රකට බවට මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වතය හරහට, නොහැපෙමින් යන්නාවූ දියෙහි මෙන් පොළොවෙහි කිමිදිම් මතුවීම් කරන්නාවූ පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්යංකයෙන් හිඳගෙනම යන්නාවූ මේ මහත් ඍද්ධි ඇති, මහත් ආනුභාව ඇති සඳ හිරු දෙදෙන අතගාන්නාවූ පිරිමදින්නාවූ බඹලොවතෙක් ශරීරයෙන් වසඟ කරන්නාවූ) මේ භික්ෂුවක් මම දුටුවෙමියි ශ්‍රද්ධා නැත්තාවූ නොපැහැදුනාවූ එක්තරා එකකුට භික්ෂුවගේ මහත් ඍද්ධි ඇති බවද, මහා ආනුභාව ඇති බවද, පින්වත, ඇත්තෙන්ම පුදුමය, පින්වත, ඇත්තෙන්ම ඉතා පුදුමයයි කියන්නේද? ඒ ශ්‍රද්ධා නැත්තාවූ නොපැහැදුනාවූ අය, ඒ ශ්‍රද්ධා ඇත්තාවූ පැහැදුන අයට මෙසේ කියන්නේය. “පින්වත, ගන්ධාරී නම් විද්‍යාවක් ඇත්තීය. ගන්ධාර රට බොහෝ ඍෂීහු වාසය කළෝය. ඔවුන් අතරෙහි එකෙකු විසින් කරණ ලද විද්‍යාවක් ‘ගන්ධාරී’ නම් වීය. ඒ විද්‍යාවෙන් භික්ෂුතෙම නොයෙක් අයුරු ඇති ඍද්ධි විධි වෙන් වෙන්ව කොට දක්වයි. එකෙක්ව බොහෝසේ වෙයි. බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වත හරහට නොහැපෙමින් යයි. අහසෙහි මෙන් පොළොවෙහි කිමිදීම් මතුවීම් කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කරයි. පක්ෂියකු මෙන් අහසෙහිද පර්යංකයෙන් හිඳගෙනම යයි. මේ මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති සඳ හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹලොව තෙක් ශරීරයෙන් වසඟ බව පවත්වයි” කියායි. “කේවට්ටය, ඒ කුමකැයි සිතන්නෙහිද? ඒ ශ්‍රද්ධා නැත්තාවූ නොපැහැදුනාවූ තැනැත්තේ ඒ ශ්‍රද්ධාවත් පැහැදුනාවූ තැනැත්තාට මෙසේ කියන්නේදැ”යි ඇසූසේක. “ස්වාමීනි, කියන්නේයයි” කීයේය, “කෙවට්ටය, මම ඍද්ධි ප්‍රාතිහාර්යයෙහි මේ දෝෂ හොඳින් දන්නෙම් ඍද්ධි ප්‍රාතිහාර්යයෙන් ලජ්ජා වෙමි. අසුචි මෙන් පිළිකුල් කරමි.