1.
බ්රහ්මජාල සූත්රය
1. මා විසින් මෙසේ අසනලදී. (නොහොත් මගේ ඇසීම මෙලෙසයි.) එක් කාලයකදී භාග්යවතුන් වහන්සේ රජගහ නුවරට හා නාලන්දා නුවරටත් අතර මහපාරට පන්සියයක් පමණවූ බොහෝ භික්ෂු සංඝයා හා සමග (වැඩියෝය.) පැමිණියෝය. සුප්පිය නම් පිරිවැජියාද (ශාසනයෙන් පිටත් පැවිද්දාද) බඹදත් නම් තරුණ අතවැසියා සමග රජගහ නුවරට හා නාලන්දා නුවරටත් අතර මහ පාරට පැමිණියේය.
එහිදී සුප්පිය පිරිවැජියා නොයෙක් අයුරෙන් බුදුන් කෙරෙහි අගුණ කියයි. ධර්මය කෙරෙහි අගුණ කියයි. සංඝයා කෙරෙහි අගුණ කියයි. සුප්පිය නම් පිරිවැජියාගේ අතවැසියාවූ බඹදත් නම් මානවකයා නොයෙක් කරුණෙන් (ආකාරයෙන්) බුදුන්ගේ ගුණ කියයි, ධර්මයේ ගුණ කියයි, සංඝයාගේ ගුණ කියයි. මෙසේ මේ කරුණෙහි ඒ ඇදුරු-අතවැසි දෙදෙන ඔවුනොවුන් අතර සම්පූර්ණයෙන් විරුද්ධ කථා ඇත්තාහු භාග්යවතුන් වහන්සේගේද භික්ෂු සංඝයාගේද පසුපස්සේම ලුහුබැන්දෝය.
2. එවිට භාග්යවතුන් වහන්සේ අම්බලට්ඨිකා උයනෙහි රජුන්ගේ විඩා හැරීමාදියට පිළියෙළවූ රාජාගාරක නම් ශාලාවෙහි එක් රාත්රියක් විසීමට භික්ෂු සංඝයා සමග පැමිණියෝය. සුප්පිය නම් පිරිවැජියාද අම්බලට්ඨිකා උයනෙහි රාජාගාරක නම් ශාලාවෙහි එක් රාත්රියක් විසීමට බ්රහ්මදත්ත නම් තරුණ අතවැසි මානවකයා සමග පැමිණියේය. එහිදීද සුප්පිය පිරිවැජි නොයෙක් ආකාරයෙන් බුදුන් කෙරෙහි අගුණ කියයි. ධර්මය කෙරෙහි අගුණ කියයි. සංඝයා කෙරෙහි අගුණ කියයි. සුප්පිය පිරිවැජියාගේ අතවැසි බඹදත් නම් මාණවකයා නොයෙක් ආකාරයෙන් බුදුගුණ කියයි. දහම් ගුණ කියයි. සඟ ගුණ කියයි. මෙසේ මේ කාරණයෙහි ඒ ගුරුවරයා සහ ඔහුගේ අතවැසියාද යන දෙදෙනා ඔවුනොවුන්ට හාත්පසින්ම විරුද්ධ මත ඇත්තෝව භාග්යවතුන් වහන්සේගේද, භික්ෂු සංඝයාගේද පසුපස්සේම ලුහුබැන්දෝය.
3. එකල රෑ පාන්දරින් මණ්ඩලමාල නම් රැස්වීම් ශාලාවෙහි එක්ව රැස්ව වැඩසිටි බොහෝ භික්ෂූන් අතරෙහි මේ කථා ධර්මය පහළවිය. “ඇවැත්නි, (පින්වත් භික්ෂුවරුනි) සියල්ල දන්නා භගවත් නම්වූ සියල්ල දක්නා අර්හත් නම්වූ සම්යක් සම්බුදුන් වහන්සේ විසින් සත්වයන්ගේ නොයෙක් අදහස් ඇති බව යම් පමණ හොඳින් අවබෝධ කරණ ලද්දේද (අවබෝධය) පුදුමය. මේ සුප්පිය පිරිවැජි නොයෙක් ආකාරයෙන් බුදුන්හට දොස් පවරයි, ධර්මයට දොස් පවරයි, සංඝයාහට දොස් පවරයි. සුප්පිය නම් පිරිවැජියාගේ අතවැසිවූ බ්රහ්මදත්තනම් මානවකයා නොයෙක් ආකාරයෙන් බුදුගුණ කියයි. දහම් ගුණ කියයි, සඟ ගුණකියයි මෙසේ මේ ගුරුවර අතවැසි දෙදෙන ඔවුනොවුන්ට සම්පූර්ණ විරුද්ධ මත ඇත්තෝ භාග්යවතුන් වහන්සේගේද භික්ෂු සංඝයාගේද පසුපස්සේ ලුහුබැන්දෝ වෙත්.”
4. එකල්හි භාග්යවතුන් වහන්සේ භික්ෂූන්ගේ මේ කථාව දැන රැස්වී වැඩහිඳි ශාලාව යම් තැනෙකද එතනට පැමිණියෝය. පැමිණ පැණවූ ආසනයෙහි වැඩහුන්නෝය. වැඩහිඳ භාග්යවතුන් වහන්සේ (මෙසේ) භික්ෂූන්ගෙන් ඇසුවෝය. “මහණෙනි, දැන් මොනයම් කථාවකින් යුක්තව සිටියාහුද? තොපගේ මොනයම් කථාවක් පටන්ගෙන සිටියහුදැ”යි ඇසූහ.
මෙසේ ඇසූ කල ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මේ කාරණය දැන්නුවෝය. “ස්වාමීනි, රෑ පාන්දර මේ රැස්වීම් ශාලාවෙහි රැස්ව වැඩහුන් අපට මේ කථා ධර්මය පහළ විය. සියල්ල දන්නා සියල්ල දක්නා ඒ අර්හත් සම්මා සම්බුදුවූ භාග්යවතුන් වහන්සේ විසින් සත්ත්වයන්ගේ නොයෙක් නොයෙක් කල්පනා අදහස් ඇති බව යම් පමණ යහපත්සේ අවබෝධ කරණ ලද්දේද, මේ වැටහීම පුදුමය. පෙර නුවූ දෙයක් වන්නේය. මේ සුප්පිය පිරිවැජියා නොයෙක් ආකාරයෙන් බුදුරජුන්ට දොස් පවරයි. ධර්මයට දොස් පවරයි. සංඝයාට දොස් පවරයි. සුප්පිය නම් පිරිවැජියාගේ අතවැසිවූ බ්රහ්මදත්ත නම් මානවකයා නොයෙක් ආකාරයෙන් බුදුගුණ කියයි දහම් ගුණ කියයි, සඟ ගුණ කියයි. මෙසේ ගුරුවර අතවැසි දෙදෙනා ඔවුනොවුන්ට සම්පූර්ණ විරුද්ධ මත ඇත්තෝ භාග්යවතුන් වහන්සේද භික්ෂු සංඝයාද පසුපස්සේ ලුහුබැන්දෝ වෙත්. ස්වාමීන්වහන්ස, අපගේ මේ අතුරු කථාව පටන් ගත්තාය. එකල්හි භාග්යවතුන් වහන්සේ පැමිණියෝය”යි කීහ.
5. “මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මය ගැන හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණයෙහි තොප විසින් කෝප නොකට යුත්තේය. අමනාප නොඉපදවිය යුත්තේය, සිත් අසතුටු නොකට යුත්තේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණ කියන්නන් කෙරෙහි ඉදින් තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් එයින් තොපටම අන්තරාය වන්නේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් කිමෙක්ද තෙපි අනුන්ගේ සුභසිද්ධිය අසුභසිද්ධිය දන්නහුද?”
“ස්වාමීනි, එසේ නැත්මය. (ඒ දැනීම නැත.)”
“මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, එවිට තොප විසින් මෙය, මේ හෙයින් (අභූත) වෙන්ට නුපුළුවන. මෙය මේ නිසා අසත්යය. මෙය අප කෙරෙහි නැත, මෙය අප කෙරෙහි (අවිද්යමානය) දකින්නට නැත. බොරුව බොරුව මෙන් එලිදරව් කළ යුතුය.”