9. 1. 1. 8.
සජ්ඣපරිබ්බාජක සූත්රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්වෙහි වාසය කරණ සේක. එකල්හි සජ්ඣපරිබ්බාජක තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවියයුතු, සිහිකටයුතු කථාව නිමවා එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ සජ්ඣපරිබ්බාජක තෙම භාග්යවතුන් වහන්සේට මෙය කීවේය.
“ස්වාමිනි, එක් කලෙක භාග්යවතුන් වහන්සේ මේ රජගහ නුවරම, ගිරිබ්බජ නම් තැන වාසය කරති. එහිදී මවිසින් භාග්යවතුන් වහන්සේ සම්මුඛයෙන් මෙය අසන ලදී. පිළිගන්නා ලදී. එනම්, යම් ඒ ඇසූ පිරූ තැන් ඇති, අර්හත්වූ, කෙලෙසුන් නැතිකළ, වැස නිමවන ලද, කළ කටයුතු ඇති, බහා තැබූ බර ඇති, පැමිණි යහපත ඇති, භව බැඳුම් සිඳ දැමූ, විමුක්තිය මනාකොට දැනගත් ඒ භික්ෂුව පස් තැනක වැරදි සේ හැසිරෙන්නට නුසුදුසුය:
කෙළෙස් නැතිකළ භික්ෂුව දැන දැන සතුන් මැරීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්ෂුව හොරකම නම් නුදුන් දෙය ගැනීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්ෂුව මෙවුන්දම් සේවනය කරන්නට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්ෂුව දැන දැන බොරුකීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්ෂුව පෙර ගිහි කාලයෙහි මෙන් රැස් කරණ කාමයන් පරිභොග කරන්නට නුසුදුසුය, කියායි. කිමෙක්ද? ස්වාමීනි, භාග්යවතුන් වහන්සේගේ මේ කීම මවිසින් මනාකොට අසන ලදද, මනාකොට ගන්නා ලදද, මනාකොට සිහිකරණ ලදද, මනාකොට දරාගන්නා ලදද?”
“සජ්ඣපරිබ්බාජකය, තා විසින් ඒකාන්තයෙන් එය මනාකොට අසන ලදී. මනාකොට ගන්නා ලදී. මනාකොට සිහිකරණ ලදී. මනාකොට දරාගන්නා ලදී. සජ්ඣපරිබ්බාජකය, මම පෙරද මෙසේ කීමි. දැනුදු මෙසේම කියමි. යම් ඒ ඇසූ පිරූ තැන් ඇති, අර්හත්වූ, කෙලෙසුන් නැතිකළ, වැස නිමවන ලද, කළ කටයුතු ඇති, බහා තැබූ බර ඇති, පැමිණි යහපත ඇති, භව බැඳුම් සිඳ දැමූ, විමුක්තිය මනාකොට දැනගත් ඒ භික්ෂුව පස් තැනක වැරදි සේ හැසිරෙන්නට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්ෂුව දැන දැන සතුන් මැරීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්ෂුව හොරකම නම් නුදුන් දෙය ගැනීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්ෂුව මෙවුන්දම් සේවනය කරන්නට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්ෂුව දැන දැන බොරුකීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්ෂුව පෙර ගිහි කාලයෙහි මෙන් රැස් කරණ කාමයන් පරිභොග කරන්නට නුසුදුසුය, කෙළෙස් නැතිකළ භික්ෂුව බුදුරදුන් අතහැර දමන්ට හෝ උන්වහන්සේට විරුද්ධවීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්ෂුව ධර්මය අත්හැර දමන්ට හෝ ධර්මයට විරුද්ධවීමට නුසුදුසුය, කෙළෙස් නැතිකළ භික්ෂුව සඞ්ඝයා අත්හැර දමන්ට හෝ සඞ්ඝයාට විරුද්ධවන්ට නුසුදුසුය, කෙළෙස් නැතිකළ භික්ෂුව ශික්ෂාව අත්හැර දමන්ට හෝ ශික්ෂාවට විරුද්ධවන්ට නුසුදුසුය, සජ්ඣපරිබ්බාජකය, පෙරද, දැනුදු, මම මෙය කියමි. ඇසූ පිරූ තැන් ඇති, අර්හත්වූ, කෙලෙසුන් නැතිකළ, වැස නිමවන ලද, කළ කටයුතු ඇති, බහා තැබූ බර ඇති, පැමිණි යහපත ඇති, භව බැඳුම් සිඳ දැමූ, විමුක්තිය මනාකොට දැනගත් ඒ භික්ෂුව පස් තැනක වැරදි සේ හැසිරෙන්නට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්ෂුව දැන දැන සතුන් මැරීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්ෂුව හොරකම නම් නුදුන් දෙය ගැනීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්ෂුව මෙවුන්දම් සේවනය කරන්නට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්ෂුව දැන දැන බොරුකීමට නුසුදුසුය. කෙළෙස් නැතිකළ භික්ෂුව පෙර ගිහි කාලයෙහි මෙන් රැස් කරණ කාමයන් පරිභොග කරන්නට නුසුදුසුය, කෙළෙස් නැතිකළ භික්ෂුතෙම ඡන්දයෙන් අගතියට යාමට නුසුදුසුය, ද්වේෂයෙන් අගතියට යාමට නුසුදුසුය, මෝහයෙන් අගතියට යාමට නුසුදුසුය, භයෙන් අගතියට යාමට නුසුදුසුය, සජ්ඣය, පෙරද, දැනුදු මම මෙය කියමි. ඒ භික්ෂු තෙම මේ නවතැන වැරදිසේ හැසිරෙන්ට නුසුදුසුය.”
9. 1. 1. 9.
නවපුග්ගල සූත්රය
සැවැත් නුවර නිදානයි
“මහණෙනි, මේ පුද්ගලයෝ නවදෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. ඒ නවදෙන කවරහුද? “රහතුන් වහන්සේ, රහත් බව ලැබීමට බැසගත් පුද්ගලයා, අනාගාමී පුද්ගලයා, අනාගාමී ඵලය ලැබීමට බැසගත් පුද්ගලයා, සකෘදාගාමී පුද්ගලයා, සකෘදාගාමී ඵලය ලැබීමට බැසගත් පුද්ගලයා, සෝවාන් පුද්ගලයා, සෝවාන් ඵලය ලැබීමට බැසගත් පුද්ගලයා, පෘථග්ජනයාද යනුයි. “මහණෙනි, මේ පුද්ගලයෝ නවදෙන ලෝකයෙහි ඇත්තාහ.”
9. 1. 1. 10.
නව ආහුණෙය්ය සූත්රය
සැවැත් නුවර නිදානයි
“මහණෙනි, මේ පුද්ගලයෝ නවදෙනෙක් පූජාවට සුදුසුය. ආගන්තුක සත්කාරයට යොග්යය. දන්දීමට සුදුසුය. දෙඅත් නළල මැද තබා වැඳීමට සුදුසුය. කවර නවදෙනෙක්ද? රහතුන් වහන්සේ, රහත් බව ලැබීමට බැසගත් පුද්ගලයා, අනාගාමී පුද්ගලයා, අනාගාමී ඵලය ලැබීමට බැසගත් පුද්ගලයා, සකෘදාගාමී පුද්ගලයා, සකෘදාගාමී ඵලය ලැබීමට බැසගත් පුද්ගලයා, සෝවාන් පුද්ගලයා, සෝවාන් ඵලය ලැබීමට බැසගත් පුද්ගලයා, ගොත්රභූය යනුයි. මහණෙනි, මේ පුද්ගලයෝ නවදෙන පූජාවට සුදුසුය. ආගන්තුක සත්කාරයට යොග්යය. දන්දීමට සුදුසුය. දෙඅත් නළල මැද තබා වැඳීමට සුදුසුය.
සම්බෝධි වර්ගය නිමි.
එහි සූත්ර නාමාවලිය:
සම්බෝධි, නිස්සය, මේඝිය, නන්දක, බල, සේවනා, සුතවා, සජ්ඣ, පුග්ගල සහ ආහුනෙය්ය ද යන මෙහි සූත්ර නාමාවලියයි.