9. 1. 1. 6.
සෙවිතබ්බාසෙවිතබ්බ සූත්‍රය
සැවැත් නුවර නිදානයි
එකල්හි වනාහි ඇවැත්වූ සැරියුත් තෙරුන් වහන්සේ, “ඇවැත්වූ මහණෙනි,” යි කියා භික්‍ෂූන් ඇමතූහ. “ඇවත” යයි ඒ භික්‍ෂූහු ඇවැත්වූ සැරියුත් තෙරුන්ට පිළිවදන් දුන්හ. ඇවැත්වූ සැරියුත් තෙර මේ සූත්‍රය දෙසූහ. “ඇවැත්නි, පුද්ගලයාද දෙයාකාරයකින් දතයුතුය. සේවනය කළ යුතු පුද්ගලයාය, සේවනය නොකළයුතු පුද්ගලයාය (කියායි.) ඇවැත්නි, සිවුරද දෙයාකාරයකින් දතයුතුය. පරිභෝග කළ යුතු සිවුරය, පරිභෝග නොකළ යුතු සිවුරය (කියායි.) ඇවැත්නි, පිණ්ඩපාතයද දෙයාකාරයකින් දත යුතුය. පරිභෝග කළ යුතු පිණ්ඩපාතය, පරිභෝග නොකළ යුතු පිණ්පාතය කියායි. ඇවැත්නි, සෙනසුනද දෙයාකාරයකින් දත යුතුය. සේවනය කළ යුතු සෙනසුනය, සේවනය නොකළ යුතු සෙනසුනය කියායි. ඇවැත්නි, ගම හා නියම්ගමද දෙයාකාරයකින් දත යුතුය. සේවනය කළ යුතුය, සේවනය නොකළ යුතුය (කියායි.) ඇවැත්නි, ජනපදයද දෙයාකාරයකින් දතයුතුය. සේවනය කළ යුතු ජනපද පෙදෙසය, සේවනය නොකළ යුතු ජනපද පෙදෙසය කියායි.
“ඇවැත්නි, පුද්ගලයාද දෙයාකාරයකින් දතයුතුය. සේවනය කළ යුතු පුද්ගලයාය, සේවනය නොකළයුතු පුද්ගලයාය (කියායි.) “එහි යම් පුද්ගලයකු ගැණ මේ පුද්ගලයා සේවනය කරන්නාවූ මාගේ අකුසල් වැඩෙත්, කුසල් පිරිහෙත් යයි දන්නේද, පැවිදිවූ මා විසින් සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර යන දිවි පැවැත්වීමට උවමනා පිරිකර රැස්කර ගත යුතුද, ඒවාද දුකසේ රැස්කර ගත යුත්තාහු වෙත්ද, යමක් නිසා මම ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූයෙම්ද, මට ඒ පැවිද්දේ අර්ථය භාවනාවෙන් සම්පූර්‍ණ නොවේද, ඇවැත්නි ඒ පුද්ගලයා විසින් අර පුද්ගලයාට රැයක හෝ දවාලක නොකියාම යා යුතුය. එලවා නොයා යුතුය.
“එහි යම් පුද්ගලයකු ගැණ මේ පුද්ගලයා සේවනය කරන්නාවූ මාගේ අකුසල් වැඩෙත්, කුසල් පිරිහෙත් යයි දන්නේද, පැවිදිවූ මා විසින් සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර යන දිවි පැවැත්වීමට උවමනා පිරිකර රැස්කර ගත යුතුද, ඒවාද පහසුවෙන් රැස්වෙත්ද, යමක් නිසා මම ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූයෙම්ද, මට ඒ පැවිද්දේ අර්ථය භාවනාවෙන් සම්පූර්‍ණ නොවේද, ඇවැත්නි ඒ පුද්ගලයා විසින් අර පුද්ගලයාට රැයක හෝ දවාලක නොකියාම යා යුතුය. එලවා නොයා යුතුය.
එහි යම් පුද්ගලයකු ගැන “මේ පුද්ගලයා සේවනය කරන මගේ අකුසල් දහම් පිරිහෙත්, කුසල් දහම් වැඩෙත්. පැවිදිවූ මා විසින් සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර යන දිවි පැවැත්වීමට උවමනා පිරිකර රැස්කර ගත යුතුද, ඒවාද දුකසේ රැස්වෙත්. යමක් නිසා මම ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූයෙම්ද, මාගේ ඒ පැවිදිවීමේ අර්ථය භාවනාවෙන් සම්පූර්ණ වෙයි” යැයි දන්නේද, ඇවැත්නි, ඒ පුද්ගලයා විසින් ඒ පුද්ගලයා එලවා දැම්මත් ලුහුබැඳිය යුතුය, අත නොහැරිය යුතුය.
“එහි යම් පුද්ගලයෙකු ගැණ මේ පුද්ගලයා සේවනය කරණ මාගේ අකුසල් දහම් පිරිහෙත්, කුසල් දහම් වැඩෙත් යයි දන්නේ, පැවිදිවූ මා විසින් සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර යන දිවි පැවැත්වීමට උවමනා පිරිකර (ද්‍රව්‍ය) රැස්කර ගත යුතුද, ඒවාද පහසුවෙන් රැස්වෙත්ද, යමක් නිසා මම ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවූයෙම්ද, මාගේ ඒ පැවිදිවීමේ අර්ථයද භාවනා කිරීමෙන් සම්පූර්‍ණවීමට යෙයි. ඇවැත්නි ඒ පුද්ගලයා විසින් (ඒ) අර පුද්ගලතෙම දිවි ඇතිතාක් ලුහුබැන්ද යුතුය. එලවා දැම්මත් නොයා යුතුය. ඇවැත්නි, සේවනය කළ යුතු පුද්ගලයාය. සේවනය නොකළයුතු පුද්ගලයායයි පුද්ගලයා දෙයාකාරයකින් දතයුතුයයි යමක් කියන ලද නම් එය මේ නිසා කියන ලදී.
“ඇවැත්නි, සිවුරු දෙයාකාරයකින් දතයුතුය. සේවනය කළ යුතු සිවුරය, සේවනය නොකළයුතු සිවුරය (කියායි.) මෙසේ වනාහි මෙය කියන ලද්දේය. මෙය කුමක් සඳහා කියන ලදද? එහි යම් සිවුරක් ගැණ මේ සිවුරු පරිභෝග කරණ ලද මාගේ අකුසල් දහම් වැඩෙත්. කුසල් දහම් පිරිහෙත්යයි දන්නේද, එබඳු සිවුරක් පරිභෝග නොකළ යුතුය. එහි යම් සිවුරක් ගැණ මේ සිවුර පරිභෝග කරණ මාගේ අකුසල් දහම් පිරිහෙත්. කුසල් දහම් වැඩෙත්යයි දන්නේද, එබඳු සිවුරක් පරිභෝග කළ යුතු. ඇවැත්නි, පරිභෝග කළ යුතු සිවුරය, පරිභෝග නොකළ යුතු සිවුරයයි මෙසේ යමක් කියන ලදද, එය මේ නිසා කියන ලදී.
“ඇවැත්නි, පිණ්ඩපාතයද අනුභව කළ යුතු පිණ්ඩපාතයය, අනුභව නොකළ යුතු පිණ්ඩපාතයයයි දෙයාකාරකින් දතයුතුය. මෙසේ මෙය කියන ලදී. කුමක් නිසා මෙය කියන ලදද? එය යම් පිණ්ඩපාතයක් ගැණ මේ පිණ්ඩපාතය අනුභව කරන්නාවූ මාගේ අකුසල් දහම් වැඩෙත්. කුසල් දහම් පිරිහෙත්යයි දන්නේද, එබඳු පිණ්ඩපාතය අනුභව නොකළ යුතුය. එහි යම් පිණ්ඩපාතයක් ගැණ මේ පිණ්ඩපාතය අනුභව කරන්නාවූ මාගේ අකුසල් දහම් පිරිහෙත්. කුසල් දහම් වැඩෙත්යයි දන්නේද, එබඳු පිණ්ඩපාතය අනුභව කළ යුතුය. ඇවැත්නි, පිණ්ඩපාතයද අනුභව කළ යුතුය, අනුභව නොකළ යුතුයයි දෙයාකාරකින් දක්වන ලද්දේයයි මෙසේ යමක් කියන ලදද, එය මේ නිසා කියන ලදී.