9. 1. 1. 10.
නව ආහුණෙය්‍ය සූත්‍රය
සැවැත් නුවර නිදානයි
“මහණෙනි, මේ පුද්ගලයෝ නවදෙනෙක් පූජාවට සුදුසුය. ආගන්තුක සත්කාරයට යොග්‍යය. දන්දීමට සුදුසුය. දෙඅත් නළල මැද තබා වැඳීමට සුදුසුය. කවර නවදෙනෙක්ද? රහතුන් වහන්සේ, රහත් බව ලැබීමට බැසගත් පුද්ගලයා, අනාගාමී පුද්ගලයා, අනාගාමී ඵලය ලැබීමට බැසගත් පුද්ගලයා, සකෘදාගාමී පුද්ගලයා, සකෘදාගාමී ඵලය ලැබීමට බැසගත් පුද්ගලයා, සෝවාන් පුද්ගලයා, සෝවාන් ඵලය ලැබීමට බැසගත් පුද්ගලයා, ගොත්‍රභූය යනුයි. මහණෙනි, මේ පුද්ගලයෝ නවදෙන පූජාවට සුදුසුය. ආගන්තුක සත්කාරයට යොග්‍යය. දන්දීමට සුදුසුය. දෙඅත් නළල මැද තබා වැඳීමට සුදුසුය.
සම්බෝධි වර්‍ගය නිමි.
එහි සූත්‍ර නාමාවලිය:
සම්බෝධි, නිස්සය, මේඝිය, නන්දක, බල, සේවනා, සුතවා, සජ්ඣ, පුග්ගල සහ ආහුනෙය්‍ය ද යන මෙහි සූත්‍ර නාමාවලියයි.
2. සීහනාද වර්‍ගය
9. 1. 2. 1.
1. සාරීපුත්ත සීහනාද සූත්‍රය
“භාග්‍යවතුන් වහන්සේ එක් කලෙක සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. ඒ කාලයෙහි ඇවැත්වූ සැරියුත් තෙරහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක වැඩ හුන්හ. එක පැත්තක වැඩහුන් ඇවැත්වු සැරියුත් තෙරහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීහ. “ස්වාමිනි, මා විසින් සැවැත්නුවර වස් වසන ලද්දේය. ස්වාමීනි, මම ජනපද චාරිකාවෙහි හැසිරෙන්ට කැමැත්තෙමි.” - “සාරීපුත්තයෙනි, දැන් ඊට කාලයයි ඔබ දන්නෙහිය.” ඉක්බිති ඇවැත්වූ සැරියුත් තෙරහු උන් තැනින් නැගිට, භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණුකොට, (වටේටත් වැඳ) ගියහ.
ඉක්බිති සැරියුත් තෙර ගිය නොබෝ වේලාවකින් එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීය. “ස්වාමීනි, ඇවැත්වූ සැරියුත් තෙර මට දොස් නඟා එය නිදොස් නොකොට චාරිකාවෙහි (ඇවිදීමට) ගියේය.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්‍ෂුවක් කැඳවූහ. “භික්‍ෂුවෙනි, මෙහි එව. ‘ඇවැත්වූ සාරීපුත්තයෙනි, ශාස්තෲන් වහන්සේ ඔබ කැඳවත්’ යයි මාගේ වචනයෙන් සැරියුත් තෙර කැඳවව.” - “එසේය, ස්වාමීනි” යි ඒ භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී, ඇවැත්වු සැරියුත් තෙර යම් තැනෙකද, එහි පැමිණ, ‘ඇවැත්වූ සාරීපුත්තයෙනි, ශාස්තෲන් වහන්සේ ඔබ කැඳවත්ය’ යි ඇවැත්වු සැරියුත් තෙරුන්ට කීය. “එසේය, ඇවැත්නි” යි ඇවැත්වු සැරියුත් තෙර ඒ භික්‍ෂුවට පිළිතුරු දුන්නේය.
ඒ කාලයෙහි ඇවැත් මහ මුගලන් තෙරද, ඇවැත් අනඳ තෙරද, යතුරු ගෙන විහාරයෙන් විහාරයට, ‘ඇවැත්නි, නික්මෙව. ඇවැත්නි, නික්මෙව, දැන් ඇවැත්වූ සැරියුත් තෙර භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි සිංහ නාදය පවත්වන්නේය’ යි කියමින් ඇවිදිත්.
ඉක්බිති ඇවැත්වු සැරියුත් තෙරහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එහි පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක පැත්තක හුන්හ. එක පැත්තක හුන් ඇවැත්වූ සැරියුත් තෙරුන්ට, භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළහ. “සාරීපුත්තයෙනි, ඔබට මෙහි එක්තරා භික්‍ෂුවක් සමග හැසිරෙන භික්‍ෂුවක් දොස් කීමට පැමිණියේය. (කෙසේද?) ‘ස්වාමීනි, මට ඇවැත්වු සැරියුත් තෙර දොස් නඟා, එය නිදොස් නොකොට, චාරිකාවෙහි ගියේය’ කියායි.”