8. 11. 3.
අට්ඨවිමොක්ඛ සූත්‍රය
[සැවැත්නුවර නිදානයයි]
මහණෙනි, රාගයේ දැන ගැනීම පිණිස කරුණු අටක් වැඩිය යුතුය. කවර අටක්ද?
රූප ඇත්තේ, රූපයන් බලාද, ඇතුලත අරූපය යන හැඟීම ඇත්තේ, පිටත රූප බලාද, ශුභයයිම ඇලුණේ වේද, හැම අතින් රූපය යන හැඟීම ඉක්මවා, ද්වේෂ හැඟීම යටපත් කොට, වෙනස්කම් පිළිබඳ හැඟීම් නොසිතා, අහස කෙළවරක් නැත්තේයයි ආකාසානඤ්චායතන (අහසේ තැන) නම් පළමුවන අරූප ධ්‍යානයට පැමිණ වෙසේද, හැම අතින් ආකාසානඤ්චායතනය ඉක්මවා සිත කෙළවරක් නැත්තේයයි විඤ්ඤාණඤ්චායතන (සිතේ තැන) නම් දෙවන ධ්‍යානයට පැමිණ වෙසේද.
හැම අතින් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිත් නැතැයි ආකිඤ්චඤ්ඤායතන (කිසිත් නැති තැන) නම් තුන්වන ධ්‍යානයට පැමිණ වෙසේද, හැම අතින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතන (හැඟීම නොවේය, නොහැඟීමක්ද නැත) යන සතරවන ධ්‍යානයට පැමිණ වෙසේද, හැම අතින් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිතනිරෝධ (හැඟීම් - විඳීම් නැති කළ) සමවතට පැමිණ වෙසේද, මහණෙනි, රාගය දැනගැනීම පිණිස මේ කරුණු අට වැඩිය යුතුය.
8. 11. 4-510.
[සැවැත්නුවර නිදානයයි]
මහණෙනි, රාගය පිළිබඳ (තීන්දු කොට) දැනීම පිණිස, සම්පූර්‍ණයෙන් ගෙවා දැමීමට, නැති කිරීමට, පහ කිරීමට, වැය කිරීමට, නොඇල්මට, නොපැවැත්මට, හැර දැමීමට, දුරු කිරීමට මේ කරුණු අට වැඩිය යුතුය.
(සාමඤ්ඤ වර්‍ගයේ රාගය වෙනුවට මෙහි පහත දැක්වෙන ද්වේෂ යනාදිය යොදනු.) “ද්වේෂය, මෝහය, ක්‍රෝධය, බද්ධ වෛරය, ගුණමකු බව, දොස් කීම, ඊර්‍ෂ්‍යාව, මසුරුකම, මායාව, සට බව, ආඩම්බරය, එකටෙක කිරීම, මානය, අතිමානය, මදය, පමාව, --- මනාව දැනීමට, තීන්දුකොට දැනීමට, සම්පූර්‍ණයෙන් ගෙවීමට, නැතිකිරීමට, පහකිරීමට, වැයකිරීමට, නොඇල්මට, නොපැවැත්මට, හැර දැමීමට, දුරුකිරීමට මේ කරුණු අට වැඩිය යුතුය.”
රාගපෙය්‍යාලං නිට්ඨිතං.
අටවන නිපාතය නිමි.