8. 2. 9. 3.
කිංමූලක සූත්රය
[සැවැත් නිදානයි]
83. “මහණෙනි, අන්ය තීර්ත්ථක පැවිද්දෝ, ඇවැත්නි, සියලු ධර්මයෝ කුමක් මුල් වූවෝද, සියලු ධර්මයෝ කුමකින් උපදින්නෝද. සියලු ධර්මයෝ කුමක් වැඩීම කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් රැස් කරන්නෝද, සියලු ධර්මයෝ කුමක් ප්රධානකොට ඇත්තාහුද, සියලු ධර්මයෝ කුමක් අධිපති කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් උතුම් කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් හරකොට ඇත්තේදැයි ඉදින් (මෙසේ විචාරත්ද,) මහණෙනි, මෙසේ විචාරණ ලද තෙපි ඒ අන්ය තීර්ත්ථක පැවිද්දනට කුමකැයි පිළිතුරු දෙව්ද?”
“ස්වාමීනි, අපගේ ධර්මයන් භාග්යවත්හු මුල්කොට ඇත්තේය. භාග්යවත්හු නායකකොට ඇත්තෝය. භාග්යවත්හු පිළිසරණ වූවෝය. ස්වාමීනි, මේ කියමනේ අදහස භාග්යවතුන් වහන්සේටම වැටහේවා. භාග්යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරත්.”
“මහණෙනි, එසේ වී නම් අසව්. මනාකොට මෙනෙහි කරව්. දෙසන්නෙමි.” “ස්වාමීනි, යහපති” යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේහට පිළිතුරු දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළහ.
“මහණෙනි, අන්ය තීර්ත්ථක පැවිද්දෝ ඇවැත්නි, සියලු ධර්මයෝ කුමක් මුල් වූවෝද, සියලු ධර්මයෝ කුමකින් උපදින්නෝද. සියලු ධර්මයෝ කුමක් වැඩීම කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් රැස් කරන්නෝද, සියලු ධර්මයෝ කුමක් ප්රධානකොට ඇත්තාහුද, සියලු ධර්මයෝ කුමක් අධිපති කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් උතුම් කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් හරකොට ඇත්තේදැයි ඉදින් (මෙසේ විචාරත්ද,) මහණෙනි, මෙසේ විචාරණ ලද තෙපි ඒ අන්ය තීර්ත්ථක පැවිද්දන්ට මෙසේ පිළිතුරු දෙව්.”
“ඇවැත්නි, සියලු ධර්මයෝ ඡන්දය (කැමැත්ත) මුල් වූවෝය. සියලු ධර්මයෝ මෙනෙහි කිරීමෙන් හටගන්නෝය. සියලු ධර්මයෝ ස්පර්ශයෙන් වැඩන්නෝය. සියලු ධර්මයෝ විඳීම රැස් කරන්නෝය. සියලු ධර්මයෝ සමාධිය ප්රධානකොට ඇත්තාහ. සියලු ධර්මයෝ සිහිය අධිපතිකොට ඇත්තාහ. සියලු ධර්මයෝ නුවණ උතුම්කොට ඇත්තෝය. සියලු ධර්මයෝ මිදීම හරකොට ඇත්තෝය.” “මහණෙනි, මෙසේ අසන ලද තෙපි අන්ය තීර්ත්ථක පැවිද්දන්ට මෙසේ පිළිතුරු දෙව්.”
8. 2. 9. 4.
මහා චොරඞ්ග සූත්රය
[සැවැත් නිදානයි]
84. “මහණෙනි, අංග අටකින් යුත් මහ හොරා වහා අල්ලාගනු ලැබේ. වැඩි කල් සිටින්නෙක් නොවේ.
“කවර අටෙකින්ද යත්? නොගසන්නහුට ගසාද, ඉතිරි නොකර ගෙනයාද, ගැහැනුන් මරාද, තරුණියන් දූෂණය කරාද, පැවිද්දාගෙන් සොරකම් කරාද, භාණ්ඩාගාරය සොරකම් කරාද, ඉතා කිට්ටුව කටයුතු කෙරේද, සැඟවූ ධනයෙහි දක්ෂ නොවේද, (කියාය.) මහණෙනි, අංග අටකින් යුත් මහ හොරා වහා අල්ලාගනු ලැබේ. වැඩි කල් සිටින්නෙක් නොවේ.
“මහණෙනි, අංග අටකින් යුත් මහ හොරා වහා අල්ලාගනු නොලැබේ. වැඩි කල් සිටින්නේ වේ.
“කවර අටෙකින්ද යත්? නොගසන්නාට නොගසාද, ඉතිරි නොකර පැහැර නොගනීද, ගැහැනුන් නොමරාද, තරුණියන් දූෂණය නොකෙරේද, පැවිද්දාගෙන් සොරකම් නොකරාද, භාණ්ඩාගාරය සොරකම් නොකෙරේද, ඉතා කිට්ටුව කටයුතු නොකෙරේද, සැඟවූ ධනයට දක්ෂ වේද, (යනුය.) මහණෙනි, අංග අටකින් යුත් මහ හොරා වහා අල්ලාගනු නොලැබේ. වැඩි කල් සිටින්නේ වේ.”
8. 2. 9. 5.
තථාගතාධිවචන සූත්රය
[සැවැත් නිදානයි]
85. “මහණෙනි, ශ්රමණ යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට නමෙකි. මහණෙනි, බ්රාහ්මණ යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට නමෙකි. මහණෙනි, වෙදගූ (වේදය දත්තේ) යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට නමෙකි. මහණෙනි, හිසක්ක (වෙදා) යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට නමෙකි. මහණෙනි, නිම්මල (කුණු නැත්තා) යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට නමෙකි. මහණෙනි, විමල (කුණු නැත්තා) යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට නමෙකි. මහණෙනි, ඤාණී (දන්නේ) යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට නමෙකි. මහණෙනි, විමුක්ත (මිදුනේ) යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට මේ නමෙකි.