8. 2. 9. 4.
මහා චොරඞ්ග සූත්‍රය
[සැවැත් නිදානයි]
84. “මහණෙනි, අංග අටකින් යුත් මහ හොරා වහා අල්ලාගනු ලැබේ. වැඩි කල් සිටින්නෙක් නොවේ.
“කවර අටෙකින්ද යත්? නොගසන්නහුට ගසාද, ඉතිරි නොකර ගෙනයාද, ගැහැනුන් මරාද, තරුණියන් දූෂණය කරාද, පැවිද්දාගෙන් සොරකම් කරාද, භාණ්ඩාගාරය සොරකම් කරාද, ඉතා කිට්ටුව කටයුතු කෙරේද, සැඟවූ ධනයෙහි දක්‍ෂ නොවේද, (කියාය.) මහණෙනි, අංග අටකින් යුත් මහ හොරා වහා අල්ලාගනු ලැබේ. වැඩි කල් සිටින්නෙක් නොවේ.
“මහණෙනි, අංග අටකින් යුත් මහ හොරා වහා අල්ලාගනු නොලැබේ. වැඩි කල් සිටින්නේ වේ.
“කවර අටෙකින්ද යත්? නොගසන්නාට නොගසාද, ඉතිරි නොකර පැහැර නොගනීද, ගැහැනුන් නොමරාද, තරුණියන් දූෂණය නොකෙරේද, පැවිද්දාගෙන් සොරකම් නොකරාද, භාණ්ඩාගාරය සොරකම් නොකෙරේද, ඉතා කිට්ටුව කටයුතු නොකෙරේද, සැඟවූ ධනයට දක්‍ෂ වේද, (යනුය.) මහණෙනි, අංග අටකින් යුත් මහ හොරා වහා අල්ලාගනු නොලැබේ. වැඩි කල් සිටින්නේ වේ.”
8. 2. 9. 5.
තථාගතාධිවචන සූත්‍රය
[සැවැත් නිදානයි]
85. “මහණෙනි, ශ්‍රමණ යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට නමෙකි. මහණෙනි, බ්‍රාහ්මණ යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට නමෙකි. මහණෙනි, වෙදගූ (වේදය දත්තේ) යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට නමෙකි. මහණෙනි, හිසක්ක (වෙදා) යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට නමෙකි. මහණෙනි, නිම්මල (කුණු නැත්තා) යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට නමෙකි. මහණෙනි, විමල (කුණු නැත්තා) යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට නමෙකි. මහණෙනි, ඤාණී (දන්නේ) යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට නමෙකි. මහණෙනි, විමුක්ත (මිදුනේ) යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට මේ නමෙකි.
(1) “බ්‍රාහ්මණයකු විසින්, වශීවූ ශ්‍රමණයකු විසින්, යමකට පැමිණිය යුතුද, වෙදය දත්තකු විසින්, වෙදකු විසින් අති උතුම්වූ යමකට පැමිණිය යුතුද,
(2) “නිර්මලයකු විසින්, විමලයකු විසින්, නුවණැත්තෙකු විසින් අති උතුම්වූ යමකට පැමැණිය යුතුද,
“ඒ මම දිනූ යුද ඇත්තේ, මිදුණේ, බැඳුම්වලින් මුදමි. අතිශයින් ප්‍රමොද වන ශික්‍ෂා අවසන් කළ පිරිනිවීම් ඇත්තෙක් වෙමි.”
8. 2. 9. 6.
6. මායස්ස මාගම සූත්‍රය
86. “එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්‍ෂු සමූහයා හා කොශල ජනපදයෙහි චාරිකාවෙහි හැසිරෙනුයේ කොසල වැස්සන්ගේ ඉච්ඡානංගල නම් බමුණු ගමට පැමිණි සේක. භාග්‍යවතුන් වහන්සේ වනාහි ඉච්ඡානංගල ගම්හි, ඉච්ඡානංගල වන ලැහැබේ වසන සේක. ඉච්ඡානංගල වැසි බමුණු සිටුවරු ශාක්‍ය කුලයෙන් පැවිදිවූ, ශාක්‍ය පුත්‍රවූ, ශ්‍රමණ භවත් ගෞතම තෙමේ ඉච්ඡානංගලයට පැමිණියේ, ඉච්ඡානංගලයට පැමිණ එහි ඉච්ඡානංගල වන ලැහැබෙහි වෙසේයයි ඇසුහ. ඒ භාග්‍යවත් ගෞතමයන්ගෙන් මෙබඳු කීර්ති ඝෝෂයක් පැන නැංගේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්‍හත්ය, සම්‍යක් සම්බුද්‍ධය, විද්‍යාචරණයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකය දත්තේය, පුරුෂයන් දමණය කරණ ශ්‍රේෂ්ඨ උත්තමයාය, දෙව් මිනිසුන්ගේ ශාස්තෲවරයාය, බුද්‍ධය, භාග්‍ය ඇත්තේයයි එබඳුවූ රහතුන්ගේ දැකීම වේ නම් මනාමය (කියාය.)
ඉක්බිති වනාහි ඉච්ඡානංගල වැසි බමුණු සිටුවරු ඒ රැය ඇවෑමෙන් බොහෝ කෑම් පීම් ගෙන, ඉච්ඡානංගල වන ලැහැබ කරා පැමුණුණෝය. පැමිණ, උස් හඬ ඇත්තෝ, මහා ශබ්ද ඇත්තෝ, පිටි දොර සිටියෝය.
එසමයෙහි වනාහි ආයුෂ්මත් නාගිත තෙම භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන්නේ විය. ඉක්බිත්තෙන් වනාහි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නාගිතයන්ට කථා කළ සේක: “නාගිතය, ඒ උස්වූ ශබ්ද, මහත් ශබ්ද කවරේද? මස් මරන්නෝ මසුන් උදුරතියි සිතමි.”
“ස්වාමීනි, මොවුහු ඉච්ඡානංගල වැසි බමුණන් හා සිටුවරුය. බොහෝ කෑම් බීම් ගෙන පිටත දොරටුයෙහි භාග්‍යවතුන් වහන්සේද, භික්‍ෂු සංඝයාද උදෙසා සිටියෝය.”