8. 2. 7. 9.
අඨපරිසා සූත්රය
[සැවැත් නුවර නිදානයි]
මහණෙනි, මේ පිරිස් අටෙකි. කවර අටක්ද? ක්ෂත්රිය පිරිස, බ්රාහ්මණ පිරිස, ගෘහපති පිරිස, ශ්රමණ පිරිස, චාතුර්මහාරාජික පිරිස, තාවතිංශ පිරිස, මාර පිරිස, බ්රහ්ම පිරිසය යනුයි.
මහණෙනි, මම නොයෙක් සිය ගණන් ක්ෂත්රිය පිරිස වෙත පැමිණ, එහිද මා හිඳගත් බැව්ද, කථාකළ බැව්ද, සාකච්ඡාවට පැමිණ සිටි බැව්ද, ඔවුන්ගේ පැහැය යම් බඳුද මාගේ පැහැයද එබඳුම වෙයි යනුද මම දනිමි. ඔවුන්ගේ හඬ යම් බඳුද, මාගේ හඬද එබඳුම වෙයි. දැහැමි කථාවෙන් දක්වමි. සමාදන් කරවමි. තෙද ගන්වමි. සතුටු කරවමි. මේ තෙමේ කවරෙක්ද, කථා කරන්නාවු මා දෙවියෙක්ද, මිනිසෙක්දැයි නොදනිත්. දැහැමි කථාවෙන් දක්වා සමාදන් කරවා, තෙද ගන්වා, සතුටු කරවා, අතුරුදහන් වෙමි. අතුරුදහන්වු මා මේ අතුරුදහන්වූයේ කවරෙක්ද, දෙවියෙක්ද, මිනිසෙක්දැයි නොදනිත්.
මහණෙනි, මම නොයෙක් සිය ගණන් ක්ෂත්රිය පිරිස දනිමි. බ්රාහ්මණ පිරිස, ගෘහපති පිරිස, ශ්රමණ පිරිස, චාතුර්මහාරාජික පිරිස, තාවතිංශ පිරිසද, බ්රහ්ම පිරිසද වෙත පැමිණ එහිද මා හිඳගත් බැව්ද, කථාකළ බැව්ද, සාකච්ඡාවට පැමිණ සිටි බැව්ද, ඔවුන්ගේ පැහැය යම් බඳුද මාගේ පැහැයද එබඳුම වෙයි යනුද මම දනිමි. ඔවුන්ගේ හඬ යම් බඳුද, මාගේ හඬද එබඳුම වෙයි. දැහැමි කථාවෙන් දක්වමි. සමාදන් කරවමි. තෙද ගන්වමි. සතුටු කරවමි. කථා කරන්නාවූ මා දෙවියෙක්ද, මිනිසෙක්දැයි නොදනිත්. දැහැමි කථාවෙන් දක්වා සමාදන් කරවා තෙද ගන්වා සතුටු කරවා අතුරුදහන් වෙමි. අතුරුදහන්වූ මා මේ අතුරුදහන්වූයේ කවරෙක්ද, දෙවියෙක්ද, මිනිසෙක්දැයි නොදනිත්. මහණෙනි, මේ අට පිරිස් වෙති.
8. 2. 7. 10.
භුමිචාල සූත්රය
එක් කලෙක භාග්යවතුන් වහන්සේ විශාලා නගර ආසන්න මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වාසය කරණ සේක. ඉක්බිති භාග්යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා, පාත්ර සිවුරු ගෙන, විශාලා නගරයෙහි පිඬු පිණිස හැසුරුණ සේක. විශාලාවෙහි පිඬු පිණිස හැසිර, සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට ඇමතූ සේක. “ආනන්දය, හිඳගන්නා ඇතිරිල්ල ගන්න. චාපාල චෛත්යස්ථානය යම් තැනකද, දිවා විහරණය පිණිස එහි යන්නෙමු” “එසේය, ස්වාමිනි,” යි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේට ප්රති වචන දී, වැඩ හිඳින ඇතිරිල්ල රැගෙන භාග්යවතුන් වහන්සේට පිටුපසින් ගියේය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ චාපාල චෛත්ය ස්ථානය යම් තැනකද, එතැන්හි වැඩි සේක. එසේ වැඩ පැනවූ අස්නෙහි වැඩ සිටි සේක. වැඩහිඳ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඇමතූ සේක. ආනන්දය, විශාලාව සිත් කලුය. උදේනී චෛත්ය ස්ථානය සිත් කලුය. ගොතමක චෛත්ය ස්ථානය සිත් කලුය. බහුපුත්ර චෛත්ය ස්ථානය සිත් කලුය. සත්තම්බක චෛත්ය ස්ථානය සිත් කලුය. සාරන්දදම් චෛත්ය ස්ථානය සිත් කලුය. චාපාල චෛත්ය ස්ථානය සිත් කලුය.
ආනන්දය, යම් කිසිවකු සතර ඎද්ධිපාදයෝ වඩනා ලද්දාහු, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දාහු, බොහෝ පුරුදු කරණ ලද්දාහු, අඩිතාලමක් මෙන් කරණ ලද්දාහු, නොනැගිට පුරුදු කරණ ලද්දාහු වෙත්ද, ආනන්දය, හෙතෙම ඉදින් කැමති නම් කල්පයක් හෝ ඊට වැඩි කාලයක් සිටිය හැකිය. “ආනන්දය, තථාගතයන් වහන්සේ විසින් සතර (කැමැත්ත, සිත, වීර්යය, විමසීම) ඎද්ධිපාදයෝ වඩන ලදී. බහුල වශයෙන් පුරුදු කරණ ලදී. අඩිතාලමක් මෙන් කරණ ලදී. ආනන්දය, තථාගතයන් වහන්සේ කැමතිවන්නේ නම් කල්පයක් හෝ එයට වැඩියක් කල් සිටිය හැකිය. මෙසේ භාග්යවතුන් වහන්සේ ඕලාරික නිමිති (ලොකු කරුණු දැක්වීම්) කරද්දී, ඕලාරික ඕභාසයන් (ලොකු එළිදරව් කිරීම්) කරද්දී, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට අවබෝධ කරගන්ට නොහැකි විය. උන්වහන්සේ මාරයා විසින් වසන ලද සිත් ඇති බැවින්, “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ කල්පයක් කල් සිටින සේක්වා. ස්වාමිනි, සුගතයන් වහන්සේ කල්පයක් කල් සිටින සේක්වා. බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, ලෝකයාට අනුකම්පා පිණිස, දෙවි මිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස” යයි භාග්යවතුන් වහන්සේට ආරාධනා නොකෙළේය.