8. 2. 7. 6.
අට්ඨවිමොක්ඛ සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
“මහණෙනි, මේ මිදීම් අටක් වෙති. ඒ අට කවරහුද?”
“රූප ඇත්තා රූපයන් දකියි. මේ පළමුවන මිදීමයි.”
“අධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ පිටත රූපයන් දකියි. මේ දෙවන මිදීමයි.”
“ශුභාන්තවූම මිදීම් ඇත්තෙක් වෙයි. මේ තුන්වන මිදීමයි.”
“සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාව ඉක්මවා පටිඝ සංඥාව අස්තංගමකොට නානත්ත සංඥාවන්ගේ මෙනෙහි නොකිරීමෙන් අනන්තවු ආකාශයයි ආකාශානඤ්චායතනයට පැමිණ වාසය කරයි. මේ සතරවැනි මිදීමයි.”
“සර්‍වප්‍රකාරයෙන් ආකාශානඤ්චායතනය දුරුකොට අනන්තවූ විඤ්ඤාණයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි. මේ පස්වන මිදීමයි.”
“සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය දුරුකොට කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මේ සයවැනි මිදීමයි.”
“සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉකමවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මේ සත්වන මිදීමයි.”
“සර්‍වප්‍රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිතනිරෝධයට පැමිණ වාසය කරයි. මේ අටවන මිදීමයි.”
“මහණෙනි, මේ මිදීම් අට වෙති.”
8. 2. 7. 7.
අනරියවොහාර සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
මහණෙනි, මේ අනාර්‍ය්‍ය ව්‍යවහාරයෝ අටෙකි. කවර අටක්ද යත්?
නොදැකි දෙයෙහි දැක්කේයයි කියන්නාවූ, නොඇසූ දෙයෙහි ඇසුවේයයි කියන්නාවූ, පඤ්චෙන්‍ද්‍රියයන්ගෙන් ස්පර්‍ශ නොකළ දේ ස්පර්‍ශ කළේයයි කියන්නාවූ, නොදැනගත් දෙයෙහි දැනගත්තේයයි කියන්නාවූ, දැකි දෙයෙහි නොදැක්කේයයි කියන්නාවූ, ඇසූ දෙයෙහි නොඇසුවේයයි කියන්නාවූ, පඤ්චෙන්‍ද්‍රියයන්ගෙන් ස්පර්‍ශ කළ දෙයෙහි ස්පර්‍ශ නොකළේයයි කියන්නාවූ, දැනගත් දෙයෙහි දැන නොගන්නේයයි කියන්නාවූ, යන මේ කරුණු අට මහණෙනි, අනාර්‍ය්‍ය ව්‍යවහාරයෝ වෙති.