8. 2. 7. 7.
අනරියවොහාර සූත්රය
[සැවැත් නුවර නිදානයි]
මහණෙනි, මේ අනාර්ය්ය ව්යවහාරයෝ අටෙකි. කවර අටක්ද යත්?
නොදැකි දෙයෙහි දැක්කේයයි කියන්නාවූ, නොඇසූ දෙයෙහි ඇසුවේයයි කියන්නාවූ, පඤ්චෙන්ද්රියයන්ගෙන් ස්පර්ශ නොකළ දේ ස්පර්ශ කළේයයි කියන්නාවූ, නොදැනගත් දෙයෙහි දැනගත්තේයයි කියන්නාවූ, දැකි දෙයෙහි නොදැක්කේයයි කියන්නාවූ, ඇසූ දෙයෙහි නොඇසුවේයයි කියන්නාවූ, පඤ්චෙන්ද්රියයන්ගෙන් ස්පර්ශ කළ දෙයෙහි ස්පර්ශ නොකළේයයි කියන්නාවූ, දැනගත් දෙයෙහි දැන නොගන්නේයයි කියන්නාවූ, යන මේ කරුණු අට මහණෙනි, අනාර්ය්ය ව්යවහාරයෝ වෙති.
8. 2. 7. 8.
අරියවොහාර සූත්රය
[සැවැත් නුවර නිදානයි]
මහණෙනි, මේ ආර්ය්ය ව්යවහාරයෝ අටෙකි. ඒ අට කවරහුද? නොදැකි දෙයෙහි නොදැක්කේයයි කියන්නාවූ, නොඇසූ දෙයෙහි නොඇසුවේයයි කියන්නාවූ, පඤ්චෙන්ද්රියයන්ගෙන් ස්පර්ශ නොකළ දෙයෙහි ස්පර්ශ නොකළේයයි කියන්නාවූ, නොදැනගත් දෙයෙහි නොදැනගත්තේයයි කියන්නාවූ, දැකි දෙයෙහි දැක්කේයයි කියන්නාවූ, ඇසූ දෙයෙහි ඇසුවේයයි කියන්නාවූ, පඤ්චෙන්ද්රියයන්ගෙන් ස්පර්ශ කළ දෙයෙහි ස්පර්ශ කළේයයි කියන්නාවූ, දැනගත් දෙයෙහි දැනගත්තේයයි කියන්නාවූ, යන අට මහණෙනි, ආර්ය්ය ව්යවහාරයෝ වෙති.
8. 2. 7. 9.
අඨපරිසා සූත්රය
[සැවැත් නුවර නිදානයි]
මහණෙනි, මේ පිරිස් අටෙකි. කවර අටක්ද? ක්ෂත්රිය පිරිස, බ්රාහ්මණ පිරිස, ගෘහපති පිරිස, ශ්රමණ පිරිස, චාතුර්මහාරාජික පිරිස, තාවතිංශ පිරිස, මාර පිරිස, බ්රහ්ම පිරිසය යනුයි.
මහණෙනි, මම නොයෙක් සිය ගණන් ක්ෂත්රිය පිරිස වෙත පැමිණ, එහිද මා හිඳගත් බැව්ද, කථාකළ බැව්ද, සාකච්ඡාවට පැමිණ සිටි බැව්ද, ඔවුන්ගේ පැහැය යම් බඳුද මාගේ පැහැයද එබඳුම වෙයි යනුද මම දනිමි. ඔවුන්ගේ හඬ යම් බඳුද, මාගේ හඬද එබඳුම වෙයි. දැහැමි කථාවෙන් දක්වමි. සමාදන් කරවමි. තෙද ගන්වමි. සතුටු කරවමි. මේ තෙමේ කවරෙක්ද, කථා කරන්නාවු මා දෙවියෙක්ද, මිනිසෙක්දැයි නොදනිත්. දැහැමි කථාවෙන් දක්වා සමාදන් කරවා, තෙද ගන්වා, සතුටු කරවා, අතුරුදහන් වෙමි. අතුරුදහන්වු මා මේ අතුරුදහන්වූයේ කවරෙක්ද, දෙවියෙක්ද, මිනිසෙක්දැයි නොදනිත්.
මහණෙනි, මම නොයෙක් සිය ගණන් ක්ෂත්රිය පිරිස දනිමි. බ්රාහ්මණ පිරිස, ගෘහපති පිරිස, ශ්රමණ පිරිස, චාතුර්මහාරාජික පිරිස, තාවතිංශ පිරිසද, බ්රහ්ම පිරිසද වෙත පැමිණ එහිද මා හිඳගත් බැව්ද, කථාකළ බැව්ද, සාකච්ඡාවට පැමිණ සිටි බැව්ද, ඔවුන්ගේ පැහැය යම් බඳුද මාගේ පැහැයද එබඳුම වෙයි යනුද මම දනිමි. ඔවුන්ගේ හඬ යම් බඳුද, මාගේ හඬද එබඳුම වෙයි. දැහැමි කථාවෙන් දක්වමි. සමාදන් කරවමි. තෙද ගන්වමි. සතුටු කරවමි. කථා කරන්නාවූ මා දෙවියෙක්ද, මිනිසෙක්දැයි නොදනිත්. දැහැමි කථාවෙන් දක්වා සමාදන් කරවා තෙද ගන්වා සතුටු කරවා අතුරුදහන් වෙමි. අතුරුදහන්වූ මා මේ අතුරුදහන්වූයේ කවරෙක්ද, දෙවියෙක්ද, මිනිසෙක්දැයි නොදනිත්. මහණෙනි, මේ අට පිරිස් වෙති.