8. 2. 6. 6.
කාමාධිවචන සූත්‍රය
[සැවැත් නිදානයි]
මහණෙනි, ‘බිය’ යන මෙය කාමයන්ට නමකි. මහණෙනි, ‘දුක’ යන මෙය කාමයන්ට නමකි. මහණෙනි, ‘රෝගය’ යන මෙය කාමයන්ට නමකි. මහණෙනි, ‘ගෙඩිය’ යන මෙය කාමයන්ට නමකි. මහණෙනි, ‘හුල’ යන මෙය කාමයන්ට නමකි. මහණෙනි, ‘සංග (බැම්ම)’ යන මෙය කාමයන්ට නමකි. මහණෙනි, ‘පංක (මඩ)’ යන මෙය කාමයන්ට නමකි. මහණෙනි, ‘ගර්‍භය’ යන මෙය කාමයන්ට නමකි.
මහණෙනි, කුමක් හෙයින් ‘බිය’ යනු කාමයන්ට නමක් වේද? මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙහි ඇලුනාවූ ඡන්දරාගයෙන් බැඳුනු මේ තෙමේ, මෙලොව බියෙන්ද නොමිදෙයි, පරලොව බියෙන්ද නොමිදෙයි, එබැවින් ‘බිය’ යනු කාමයන්ට නමකි.
මහණෙනි, කුමක් හෙයින් දුක යන මෙය කාමයන්ට නම් වේද... මහණෙනි, කුමක් හෙයින් රොගය යන මෙය කාමයන්ට නම් වේද... මහණෙනි, කුමක් හෙයින් ගෙඩිය යන මෙය කාමයන්ට නම් වේද... මහණෙනි, කුමක් හෙයින් හුල යන මෙය කාමයන්ට නම් වේද... මහණෙනි, කුමක් හෙයින් බැම්ම යන මෙය කාමයන්ට නම් වේද... මහණෙනි, කුමක් හෙයින් මඩ යන මෙය කාමයන්ට නම් වේද, මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙහි ඇලුනාවූ මේ තෙමේ ආශාවෙන් බැඳුනේ, මෙලොව බියෙන්ද නොමිදෙයි. පරලොව බියෙන්ද නොමිදෙයි. මේ නිසා මඩ යනු කාමයන්ට නමකි. මහණෙනි, කුමක් හෙයින් ගර්‍භය යන මෙය කාමයන්ට නම් වේද?
මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙහි ඇලුනාවූ මේ තෙමේ ඡන්දරාගයෙන් බැඳුනේ, මෙලොව ගර්භවාසයෙන්ද නොමිදෙයි, පරලොව ගර්භවාසයෙන්ද නොමිදෙයි, එබැවින් ‘ගර්භය’ යනු කාමයන්ට නමකි.
1. බියද, දුකද, රෝගයද, ගඩුවද, හුලද, සංගය (බැම්ම) ද, පංකය (මඩ) ද, ගර්භයද යන දෙකද, යන මොහු කාමයෝ යයි කියනු ලැබෙත්. යම් තැනක පෘථග්ජන සත්ත්වයා ඇලුනේ ද,
2. මිහිරි ස්වභාවයෙන් බැසගත්තේ, නැවත ගර්භවාසයට (ඉපදීමට) යෙයි. යම් හෙයකින් භික්ෂුව කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ සම්පජන්නය (නුවණ) අත් නොහරි ද,
3. එබඳුවූ හෙතෙම මේ දුර්ග වූ මඩ වගුර ඉක්මවා, ජාති ජරාවන්ගෙන් යුක්තවූ, ගැහෙන්නාවූ ප්‍රජාව දෙස බලයි.
8. 2. 6. 7.
පඨම ආහුනෙය්‍ය භික්ඛු සූත්‍රය
[සැවැත් නිදානයි]
මහණෙනි, කරුණු අටකින් යුක්තවූ භික්ෂුව ආහුනෙය්‍ය වෙයි, පාහුනෙය්‍ය වෙයි, දක්ඛිණෙය්‍ය වෙයි, අඤ්ජලිකරණීය වෙයි, ලෝකයාට අනුත්තර පුණ්‍යක්ෂේත්‍රය වෙයි. කවර අටකින් ද යත්:
“කිනම් අටකින්ද යත්? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද... බහුශ්‍රුත වේද... යහපත් අය සහාය කොට ඇති, යහපත් අයට නැමෙන කල්‍යාණ මිත්‍රයෙක් වේද, යහපත් පෙනීමෙන් යුත් සම්‍යක් දෘෂ්ටිකයෙක් වේද... ධ්‍යාන සතර පහසුවෙන් ලබන්නේ වේද... නානා ප්‍රකාර පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරයි... ඔහු විසින් මේ පළමුවෙනි විද්‍යාව ලදී. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය... මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් සත්ත්‍වයින් දකී. සත්ත්‍වයන්ගේ චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත නමයි... ඔහු විසින් මේ දෙවෙනි විද්‍යාව ලදී. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය... සත්ත්‍වයන්ගේ ආශ්‍රවක්‍ෂය දැනගන්නා නුවණ පිණිස සිත නමයි... ඔහු විසින් මේ තුනවෙනි විද්‍යාව ලබන ලද්දීය. අවිද්‍යාව නසන ලදී... මහණෙනි, මේ කරුණු අටින් යුක්තවූ මහණ තෙම ආහුනෙය්‍ය වෙයි... ලෝකයාට අනුත්තර පුණ්‍යක්ෂේත්‍රය වෙයි.