8. 2. 6. 5.
උජ්ජය සූත්රය
[සැවැත් නිදානයි]
ඉක්බිති උජ්ජය බ්රාහ්මණ තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු විය යුතුවූ, සිහි කටයුතුවූ, කථාව කොට අවසන්කොට එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි උජ්ජය බ්රාහ්මණ තෙම භාග්යවතුන් වහන්සේට මෙසේ පැවසීය:
“භවත් ගෞතමයන් වහන්ස, අපි පිටරට යනු කැමැත්තම්හ. ඒ අපට පින්වත් භාග්යවතුන් වහන්සේ යමක් අපට බොහෝ කලක් මෙලොව හිත පිණිසද, මෙලොව සැප පිණිසද, පරලොව හිත පිණිසද, පරලොව සැප පිණිසද, වන්නාහු නම් එසේ ධර්මය දේශනා කරන සේක්වා.”
“බ්රාහ්මණය, මේ ධර්ම සතරක් කුල පුත්රයාට මෙලොව යහපත පිණිස පවතිත්, මෙලොව සැප පිණිස පවතිත්. කවර සතරක්ද යත්:
උත්සාහ සම්පත්තිය, ආරක්ෂා සම්පත්තිය, කල්යාණ මිත්රතාව, සමජීවිකතාවයි.
1. බ්රාහ්මණය, උත්සාහ සම්පත්තිය කවරේද? බ්රාහ්මණය, මේ ලෝකයෙහි කුලපුත්ර තෙමේ යම් කර්මාන්තයකින්, ගොවිතැනින් හෝ, වෙළඳාමෙන් හෝ, ගව පාලනයෙන් හෝ, ධනු ශිල්පයෙන් හෝ, රාජ පුරුෂ භාවයෙන් හෝ, යම් ශිල්පයකින් හෝ ජීවිකාව කරයිද, එහි දක්ෂවූයේ, කම්මැලි නොවූයේ, ඊට උපාය සිතීමෙන් යුක්තවූයේ වේද, කරන්නට සුදුසුවූයේ, සංවිධානය කිරීමට සුදුසුවූයේ වේද, බ්රාහ්මණය, මේ උත්සාහ සම්පත්තියයයි කියනු ලැබේ.
2. බ්රාහ්මණය, ආරක්ෂා සම්පත්තිය කවරේද? බ්රාහ්මණය, මේ ලෝකයෙහි කුල පුත්රයාට උත්සාහ වීර්ය්යයෙන් ලත්, අතේ ශක්තියෙන් පුරුදු ඩහදිය සෙලවුන, ධාර්මිකවූ දැහැමින් ලත් යම් භෝග කෙනෙක් ඇද්ද, ඒ භෝග රජවරු නොගන්නාහු නම්, සොරු නොගන්නාහු නම්, ගින්නෙන් විනාශ නොවන්නේ නම්, දියට ගසාගෙන නොයන්නාහු නම්, අප්රිය දායාදයන් නොගන්නාහු නම් යෙහෙකැයි ආරක්ෂා කරයි, රැකබලා ගනී. බ්රාහ්මණය, මේ ආරක්ෂා සම්පදාවයයි කියනු ලැබේ.
3. බ්රාහ්මණය, කළ්යාණ මිත්ර බව කවරේද? බ්රාහ්මණය, මේ ලෝකයෙහි කුලපුත්රතෙම යම් ගමක හෝ නියම් ගමක හෝ වාසය කරයිද, එහි යම් ශ්රද්ධාවෙන් යුත්, ශීලයෙන් යුත්, ත්යාගයෙන් යුත්, ප්රඥාවෙන් යුත්, ගෘහපතියෙක් හෝ, ගෘහපති පුත්රයෙක් හෝ, තරුණ වූවත් වැඩිමහළු ගුණ ඇති, වැඩිමහළු වූවත් වැඩිමහළු ගුණ ඇති යමෙක් වෙත්ද, ඔවුන් සමග ආශ්රය කරයිද, කථාබහ කරයිද, සාකච්ඡා කරයිද, යම්බඳු ශ්රද්ධාවන්තයන්ගේ ශ්රද්ධාවට අනුව හික්මෙයිද, යම්බඳු සිල්වතුන්ගේ ශීලයට අනුව හික්මෙයිද, යම්බඳු ත්යාගවන්තයන්ගේ ත්යාගයට අනුව හික්මෙයිද, යම්බඳු ප්රඥාවන්තයන්ගේ ප්රඥාවට අනුව හික්මෙයිද, බ්රාහ්මණය, මේ කළ්යාණ මිත්ර භාවයයි.
4. බ්රාහ්මණය, සමජීවික බව කවරේද? බ්රාහ්මණය, මේ ලෝකයෙහි කුලපුත්රතෙම භෝගයන්ගේ අයද දැන, භෝගයන්ගේ වැයද දැන, සමව දිවි පවත්වාද, වැඩි වියදම් නැත්තේද, ඉතා අඩු වියදම්ද නැත්තේද, ‘මෙසේ මාගේ අය වැය මැඩගෙන සිටී. මාගේ වැය, අය මැඩගෙන නොසිටී’ යයි සිතා දිවි පවත්වයි.