8. 2. 6. 4.
ව්යග්ඝපජ්ජ සූත්රය
එක් කාලයෙක්හි භාග්යවතුන් වහන්සේ කෝලිය ජනපදයෙහි කක්කරපත්ත නම් කෝලියයන්ගේ නියම් ගමක් වේද, එහි වාසය කරණ සේක. එකල්හි වනාහි දීඝජානු නම් කෝලිය පුත්ර තෙම, භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත් පසෙක සිටි දීඝජානු කොලිය පුත්ර තෙම භාග්යවතුන් වහන්සේට මෙසේ සැළකළේය:
ස්වාමීනි, ගිහිවූ, කාමභොගීවු අපි පුත්රයන්ගේ පීඩාවෙන් වසමු. කසී සළු හා සඳුන් පාවිච්චි කරමු. මල් ගඳ විලවුන් දරමු. රන් රිදී මසු කහවනු දරමු. ස්වාමීනි, ඒ අපට යම් ධර්ම කෙනෙක් මෙලොව යහපත පිණිසද, මෙලොව සැප පිණිසද, පරලොව සැප පිණිසද වන්නාහු නම්, එසේ ධර්ම දේශනා කරනු ලැබේ.
ව්යග්ඝපජ්ජය, මේ ධර්ම සතරක් කුල පුත්රයාට මෙලොව යහපත පිණිස පවතිත්. කිනම් සතරක්ද යත්? උත්සාහ සම්පත්තිය, ආරක්ෂා සම්පත්තිය, යහපත් මිතුරන් ඇතිබව, ආදායමට සමාන ජීවිකාව යන සතරයි.
1. ව්යග්ඝපජ්ජය, උත්සාහ සම්පත්තිය කවරේද? ව්යග්ඝපජ්ජය, මේ ලෝකයෙහි කුලපුත්ර තෙමේ යම් කර්මාන්තයකින්, ගොවිතැනින්, වෙළඳාමෙන් හෝ, ගව පාලනයෙන් හෝ, ධනු ශිල්පයෙන් හෝ, රාජ පුරුෂ භාවයෙන් හෝ, ශිල්පයකින් හෝ ජීවිකාව කරයිද, එහි දක්ෂවූයේ, කම්මැලි නොවූයේ, ඊට උපාය සිතීමෙන් යුක්තවූයේ වේද, කරන්නට සුදුසුවූයේ, නියම කිරීමට සුදුසුවූයේ වේද, ව්යග්ඝපජ්ජය, මේ උත්සාහ සම්පත්තියයයි කියනු ලැබේ.
2. ව්යග්ඝපජ්ජය, ආරක්ෂා සම්පත්තිය කවරේද? ව්යග්ඝපජ්ජය, මේ ලෝකයෙහි කුල පුත්රයාට උඨාන වීර්ය්යයෙන් ලත්, අතේ ශක්තියෙන් පුරුදු ඩහදිය සෙලවුන, ධාර්මිකවූ දැහැමින් ලත් යම් වස්තු කෙනෙක් ඇද්ද, ඒ වස්තු කිමෙක්ද, රජවරු නොගන්නාහු නම්, සොරු නොගන්නාහු නම්, ගින්නෙන් විනාශ නොවන්නේ නම්, දියට ගසාගෙන නොයන්නාහු නම්, බලෙන් දඩ වශයෙන් නොගන්නාහු නම් යෙහෙකැයි ආරක්ෂා කරයි. ව්යග්ඝපජ්ජය, මේ ආරක්ෂා සම්පදාවයයි කියනු ලැබේ.
3. ව්යග්ඝපජ්ජය, කළ්යාණ මිත්ර බව කවරේද, ව්යග්ඝපජ්ජය, මේ ලෝකයෙහි කුලපුත්රතෙම යම් ගමක හෝ නියම් ගමක හෝ වාසය කරයිද, ඒ යම් ශ්රද්ධාවෙන් යුත්, ශීලයෙන් යුත්, ත්යාගයෙන් යුත්, ප්රඥාවෙන් යුත්, ගෘහපතියෙක් හෝ, ගෘහපති පුත්රයෙක් හෝ, වැඩිමහළු ස්වභාව ඇති තරුණයෙක් හෝ, වැඩිමහළු ස්වභාව ඇති වැඩිමහල්ලෙක් හෝ වෙත්ද, ඔවුන් සමග ආශ්රය කරයිද, සාකච්ඡා කරයිද, කථාවට පැමිණෙයිද, යම්බඳු ශ්රද්ධාවන්තයන්ගේ ශ්රද්ධාවට අනුව හික්මෙයිද, යම්බඳු සිල්වතුන්ගේ ශීලයට අනුව හික්මෙයිද, යම්බඳු ත්යාගවන්තයන්ගේ ත්යාගයට අනුව හික්මෙයිද, යම්බඳු ප්රඥාවන්තයන්ගේ ප්රඥාවට අනුව හික්මෙයිද, ව්යග්ඝපජ්ජය, මේ කළ්යාණ මිත්ර භාවයයි.
4. ව්යග්ඝපජ්ජය, සමජීවික බව කවරේද, ව්යග්ඝපජ්ජය, මේ ලෝකයෙහි කුලපුත්රතෙම වස්තූන්ගේ අයද දැන, වස්තූන්ගේ වැයද දැන, සමව දිවි පවත්වාද, වැඩි වියදම් නැත්තේද, ඉතා අඩු වියදම්ද නැත්තේද, මෙසේ මාගේ අය වැය මැඩගෙන සිටී. මාගේ වැය, අය මැඩගෙන නොසිටී කියායි.