8. 2. 6. 3.
සංක්‍ෂිප්ත ගොතමියොවාද සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහාවනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වැඩවාසය කරන සේක. ඉක්බිති මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාය. එකත්පසෙක සිටි මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළාය:
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, යම් ධර්මයක් අසා මම හුදෙකලාවූවා, අප්‍රමාදවූවා, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, නිවනට මෙහෙයූ සිත් ඇතිව වාසය කරන්නෙම් නම්, භාග්‍යවතුන් වහන්සේ මට සංක්‍ෂෙපයෙන් එබඳු ධර්‍මයක් දේශනා කරන සේක්වා.
ගොතමිය, ‘මේ ධර්මයෝ රාගය පිණිස පවතිත්, විරාගය පිණිස නොපවතිත් ද; සංයෝගය පිණිස පවතිත්, විසංයෝගය පිණිස නොපවතිත් ද; රැස්කිරීම පිණිස පවතිත්, රැස් නොකිරීම පිණිස නොපවතිත් ද; මහත් ආශාව පිණිස පවතිත්, අල්පේච්ඡතාව පිණිස නොපවතිත් ද; අසතුට පිණිස පවතිත්, සතුට පිණිස නොපවතිත් ද; පිරිස් සහිත බව පිණිස පවතිත්, විවේකය පිණිස නොපවතිත් ද; කුසීත බව පිණිස පවතිත්, වීර්‍ය්‍යය පිණිස නොපවතිත් ද; දුකසේ පෝෂ්‍ය කටයුතු බව පිණිස පවතිත්, සුවසේ පොෂ්‍ය කටයුතු බව පිණිස නොපවතිත්’ යයි යම් ධර්ම කෙනෙක් දනිහි නම්, ගොතමිය, ‘මේ ධර්මය නොවේ, මේ විනය නොවේ, මේ ශාස්තෘ ශාසනය නොවේ’ යයි ඒකාන්තයෙන් දැරිය යුතුය.
ගොතමිය, ‘මේ ධර්මයෝ විරාගය පිණිස පවතිත්, රාගය පිණිස නොපවතිත් ද; විසංයෝගය පිණිස පවතිත්, සංයෝගය පිණිස නොපවතිත් ද; රැස් නොකිරීම පිණිස පවතිත්, රැස්කිරීම පිණිස නොපවතිත් ද; අල්පේච්ඡතාව පිණිස පවතිත්, මහත් ආශාව පිණිස නොපවතිත් ද; සතුට පිණිස පවතිත්, අසතුට පිණිස නොපවතිත් ද; විවේකය පිණිස පවතිත්, පිරිස් සහිත බව පිණිස නොපවතිත් ද; වීර්‍ය්‍යය පිණිස පවතිත්, කුසීත බව පිණිස නොපවතිත් ද; සුවසේ පොෂ්‍ය කටයුතු බව පිණිස පවතිත්, දුකසේ පෝෂ්‍ය කටයුතු බව පිණිස නොපවතිත්’ යයි යම් ධර්ම කෙනෙක් දනිහි නම්, ගොතමිය, ‘මේ ධර්මය වේ, මේ විනය වේ, මේ ශාස්තෘ ශාසනය වේ’ යයි ඒකාන්තයෙන් දැරිය යුතුය.
8. 2. 6. 4.
ව්‍යග්ඝපජ්ජ සූත්‍රය
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කෝලිය ජනපදයෙහි කක්කරපත්ත නම් කෝලියයන්ගේ නියම් ගමක් වේද, එහි වාසය කරණ සේක. එකල්හි වනාහි දීඝජානු නම් කෝලිය පුත්‍ර තෙම, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත් පසෙක සිටි දීඝජානු කොලිය පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළේය:
ස්වාමීනි, ගිහිවූ, කාමභොගීවු අපි පුත්‍රයන්ගේ පීඩාවෙන් වසමු. කසී සළු හා සඳුන් පාවිච්චි කරමු. මල් ගඳ විලවුන් දරමු. රන් රිදී මසු කහවනු දරමු. ස්වාමීනි, ඒ අපට යම් ධර්‍ම කෙනෙක් මෙලොව යහපත පිණිසද, මෙලොව සැප පිණිසද, පරලොව සැප පිණිසද වන්නාහු නම්, එසේ ධර්‍ම දේශනා කරනු ලැබේ.