8. 1. 5. 9.
ඉධලොක විජය සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර මිගාර මාතාව විසින් කරවන ලද පූර්‍වාරාමයෙහිවූ ප්‍රාසාදයෙහි වාසය කරන සේක. ඉක්බිති වනාහි මිගාර මාතාව නම්වූ විශාඛාව භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියාය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නාය. එකත් පසෙක හුන් මිගාර මාතා නම්වූ විශාඛාවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
විශාඛාවෙනි, කරුණු සතරකින් යුත් ස්ත්‍රීතොමෝ මේ ලොව දිනීම පිණිස පිළිපන්නී වෙයි. මේ ලොව සතුටුවන්නී වෙයි. කවර සතරකින්ද යත්. මනාකොට කරණ ලද කර්‍මාන්ත ඇත්තී වෙයි. සංග්‍රහ කරණ ලද සේවක ජනයා ඇත්තී, ස්වාමියාට හිතවත්ව හැසිරෙයි. ස්වාමියා ගෙන එන ලද්ද ආරක්‍ෂා කරයි.
විශාඛාවෙනි, ස්ත්‍රී තොමෝ කෙසේ නම් මනා කොට කරණ ලද කර්‍මාන්ත ඇත්තී වේද? විශාඛාවෙනි, මේ ලොව ස්ත්‍රී තොමෝ යම් ඒ ස්වාමියාගේ ලෝම කර්‍මාන්ත හෝ, කපු කර්‍මාන්ත හෝ, යන කර්‍මාන්තයන්හි අලස නොවන්නී, දක්‍ෂ ඇත්තියක් වේද, ඒවායේ අභිවෘද්ධිය පිණිස, විමසීමෙන් යුක්තවූවා කටයුතු කරන්නට සුදුසු වේද, පිළියෙළ කරන්නට සුදුසුවේද, විශාඛාවෙනි, මෙසේ වනාහි ස්ත්‍රීතොමෝ මනාව කරණ ලද කර්‍මාන්ත ඇත්තී වෙයි.
විශාඛාවෙනි, ස්ත්‍රීතොමෝ කෙසේ නම් සඞ්ග්‍රහ කරණ ලද සේවක ජනයා ඇත්තී වේද, විශාඛාවෙනි, මේ ලොව සත්‍රී තොමෝ ස්වාමියාගේ අබ්භ්‍යන්තර සේවක ජනයා එනම්, දාසයෝ හෝ, පණිවුඩකරුවෝ හෝ, කම්කරුවෝ හෝ වෙද්ද, ඔවුන්ට කළයුතු දෙය, කළයුතු දෙය වශයෙන් දනීද, නොකළයුතු දෙය, නොකළ යුතු දෙය වශයෙන් දනීද. ලෙඩවූවන්ගේද පලා ඵල දනීද, කෑ යුතු, බුදිය යතු දේ සුදුසු පරිදි බෙදාද, විශාඛාවෙනි, මෙසේ වනාහි ස්ත්‍රීතොමෝ සංග්‍රහ කරණ ලද සේවක ජනයා ඇත්තී වෙයි.
විශාඛාවෙනි, කෙසේ නම් ස්ත්‍රී තොමෝ ස්වාමියාට කැමති සේ හැසිරෙන්නීද, විශාඛාවෙනි, මේ ලොව ස්ත්‍රී තොමෝ, දිවි යතත් ස්වාමියාට යමත් අප්‍රිය නම් එය ඉක්මවා නොහැසිරේද, විශාඛාවෙනි, මෙසේ වනාහි ස්ත්‍රී තොමෝ ස්වාමියාට කැමති සේ හැසිරෙන්නීය.
විශාඛාවෙනි, කෙසේ නම් සත්‍රී තොමෝ ස්වාමියා ගෙන එන දේ මනාව රකීද, විශාඛාවෙනි, මේ ලොව ස්ත්‍රී තොමෝ ස්වාමි පුරුෂයා යම් ධනයක් හෝ ධාන්‍යයක් හෝ රන් රිදී මිළ මුදල් හෝ ආරක්‍ෂාකොට තබාද, ඒවායේද ධූර්‍ත නැත්තී, සෙර නැත්තී, ගිජු නැත්තී, විනාශ නොකරන්නී වේද, විශාඛාවෙනි, මෙසේ වනාහි ස්ත්‍රී තොමෝ ස්වාමියා ගෙන එන දෙය රකින්නියක් වන්නීය. විශාඛාවෙනි, කරුණු සතරකින් යුත් ස්ත්‍රීතොමෝ මේ ලොව දිනීම පිණිස පිළිපන්නී වෙයි. මේ ලොව සතුටුවන්නී වෙයි.
විශාඛාවෙනි, කරුණු සතරකින් යුක්තවූ ස්ත්‍රීතොමෝ පරලොව ජය ගැනීම පිණිස පිළිපන්නී වෙයි. පරලොව සතුටුවන්නී වෙයි. කවර සතරකින්ද යත්, විශාඛාවෙනි, මේ ලොව ස්ත්‍රී තොමෝ ශ්‍රද්ධාව ඇත්තී වේද, ශීලය ඇත්තී වේද, ත්‍යාගය ඇත්තී වේද, ප්‍රඥාව ඇත්තී වේද,
විශාඛාවෙනි, මේ ලොව ස්ත්‍රී තොමෝ කෙසේ නම් ශ්‍රද්ධාව ඇත්තී වේද? විශාඛාවෙනි, මේ ලොව ස්ත්‍රී තොමෝ ශ්‍රද්ධාව ඇත්තී, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්හත්ය, සම්‍යක් සම්බුද්‍ධය, විද්‍යාචරණයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකය දත්තේය. පුරුෂයන් දමනය කරන ශ්‍රේෂ්ඨ උත්තමයාය, දෙවි මිනිසුන්ගේ ශාස්තෲවරයාය, බුද්‍ධය, භාග්‍ය ඇත්තේයයි විශාඛාවෙනි, මෙසේ වනාහි ස්ත්‍රී තොමෝ ශ්‍රද්ධාව ඇත්තී වෙයි.