8. 1. 5. 10.
පරලොක විජය සූත්‍රය
[සාවත්ථි නිදානයි]
මහණෙනි, කරුණු සතරකින් යුක්තවු ස්ත්‍රී තොමෝ මේ ලොව ජය ගැනීම පිණිස පිළිපන්නී වෙයි. අයංසා ලොකො ආරද්ධො හොති. කතමෙහි චතුහි:
කවර සතරකින්ද යත්. මනාකොට කරණ ලද කර්‍මාන්ත ඇත්තී වෙයි. සංග්‍රහ කරණ ලද සේවක ජනයා ඇත්තී, ස්වාමියාට හිතවත්ව හැසිරෙයි. ස්වාමියා ගෙන එන ලද්ද ආරක්‍ෂා කරයි.
මහණෙනි, ස්ත්‍රී තොමෝ කෙසේ නම් මනා කොට කරණ ලද කර්‍මාන්ත ඇත්තී වේද? මහණෙනි, මේ ලොව ස්ත්‍රී තොමෝ යම් ඒ ස්වාමියාගේ ලෝම කර්‍මාන්ත හෝ, කපු කර්‍මාන්ත හෝ, යන කර්‍මාන්තයන්හි අලස නොවන්නී, දක්‍ෂ ඇත්තියක් වේද, ඒවායේ අභිවෘද්ධිය පිණිස, විමසීමෙන් යුක්තවූවා කටයුතු කරන්නට සුදුසු වේද, පිළියෙළ කරන්නට සුදුසුවේද, මහණෙනි, මෙසේ වනාහි ස්ත්‍රීතොමෝ මනාව කරණ ලද කර්‍මාන්ත ඇත්තී වෙයි.
මහණෙනි, ස්ත්‍රීතොමෝ කෙසේ නම් සඞ්ග්‍රහ කරණ ලද සේවක ජනයා ඇත්තී වේද, මහණෙනි, මේ ලොව සත්‍රී තොමෝ ස්වාමියාගේ අබ්භ්‍යන්තර සේවක ජනයා එනම්, දාසයෝ හෝ, පණිවුඩකරුවෝ හෝ, කම්කරුවෝ හෝ වෙද්ද, ඔවුන්ට කළයුතු දෙය, කළයුතු දෙය වශයෙන් දනීද, නොකළයුතු දෙය, නොකළ යුතු දෙය වශයෙන් දනීද. ලෙඩවූවන්ගේද පලා ඵල දනීද, කෑ යුතු, බුදිය යතු දේ සුදුසු පරිදි බෙදාද, මහණෙනි, මෙසේ වනාහි ස්ත්‍රීතොමෝ සංග්‍රහ කරණ ලද සේවක ජනයා ඇත්තී වෙයි.
මහණෙනි, කෙසේ නම් ස්ත්‍රී තොමෝ ස්වාමියාට කැමති සේ හැසිරෙන්නීද, මහණෙනි, මේ ලොව ස්ත්‍රී තොමෝ, දිවි යතත් ස්වාමියාට යමත් අප්‍රිය නම් එය ඉක්මවා නොහැසිරේද, මහණෙනි, මෙසේ වනාහි ස්ත්‍රී තොමෝ ස්වාමියාට කැමති සේ හැසිරෙන්නීය.
මහණෙනි, කෙසේ නම් සත්‍රී තොමෝ ස්වාමියා ගෙන එන දේ මනාව රකීද, මහණෙනි, මේ ලොව ස්ත්‍රී තොමෝ ස්වාමි පුරුෂයා යම් ධනයක් හෝ ධාන්‍යයක් හෝ රන් රිදී මිළ මුදල් හෝ ආරක්‍ෂාකොට තබාද, ඒවායේද ධූර්‍ත නැත්තී, සෙර නැත්තී, ගිජු නැත්තී, විනාශ නොකරන්නී වේද, මහණෙනි, මෙසේ වනාහි ස්ත්‍රී තොමෝ ස්වාමියා ගෙන එන දෙය රකින්නියක් වන්නීය. මහණෙනි, කරුණු සතරකින් යුත් ස්ත්‍රීතොමෝ මේ ලොව දිනීම පිණිස පිළිපන්නී වෙයි. මේ ලොව සතුටුවන්නී වෙයි.
මහණෙනි, කරුණු සතරකින් යුක්තවු ස්ත්‍රී තොමෝ පරලොව ජය ගැනීම පිණිස පිළිපන්නී වෙයි. පරලොව සතුටුවන්නී වෙයි. කවර සතරකින්ද යත්:
මහණෙනි, මෙහි ස්ත්‍රී තොමෝ ශ්‍රද්ධාව ඇත්තී වෙයි, ශීලය ඇත්තී වෙයි, ත්‍යාගය ඇත්තී වෙයි, ප්‍රඥාව ඇත්තී වෙයි.
මහණෙනි, කෙසේ නම් ස්ත්‍රී තොමෝ ශ්‍රද්ධාව ඇත්තී වේද, මහණෙනි, මේ ලොව ස්ත්‍රී තොමෝ ශ්‍රද්ධාව ඇත්තී, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්හත්ය, සම්‍යක් සම්බුද්‍ධය -පෙ- මහණෙනි, මෙසේ වනාහි ස්ත්‍රී තොමෝ ශ්‍රද්ධාව ඇත්තී වෙයි.
මහණෙනි, කෙසේ නම් ස්ත්‍රී තොමෝ ශීලයෙන් යුක්ත වේද, මහණෙනි, මේ ලොව ස්ත්‍රී තොමෝ ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේද, අදත්තාදානයෙන් වැළකුණේ වේද, කාමමිත්‍ථ්‍යාචාරයෙන් වැළකුණේ වේද, මුසාවාදයෙන් වැළකුණේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වේද, යන පසිනි. මහණෙනි, මෙසේ වනාහි ස්ත්‍රී තොමෝ ශීලයෙන් යුක්තවූයේ වෙයි.