8. 1. 5. 6.
6. අනුරුද්ධමනාප කායික සූත්රය
46. එක් සමයෙක භාග්යවතුන් වහන්සේ කොසඹෑනුවර ඝෝෂිත නම් ආරාමයේ වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ දිවා විහරණයට ගියේ, විවේක සහිත වූයේ වෙයි. “ඉක්බිත්තෙන් වනාහි බොහෝ (නිර්මාණ රතී) මනාප කායික නම් දේවතාවෝ ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ කරා පැමුණුනාහ. පැමිණ, ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි ඒ දෙවඟනෝ ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට මෙය කීහ.
“ස්වාමිනි, අපි මනාප කායික නම් දේවතාවෝ වෙමු. තුන් කරුණක (අධිපති කම) ඓශ්චර්යය කරමු. වසඟය පවත්වමු. “ස්වාමීනි, අනුරුද්ධ, අපි යම්බඳු පාටක් කැමැත්තෙමුද, එබඳු වර්ණයක් ස්ථාන වශයෙන් ලබමු. යම්බඳු ස්වරයක් කැමැත්තෙමුද, එබඳු ස්වරයක් ස්ථාන වශයෙන් ලබමු. යම්බඳු සැපයක් කැමැතිවමුද, එබඳු සැපයක් ස්ථාන වශයෙන් ලබමු. ස්වාමීනි, අනුරුද්ධ, අපි මනපකායිකා නම් දේවතාවෝ වෙමු. මේ තුන් කරුණෙහි අධිපතිභාවය කරමු. වසඟය පවත්වමු.”
“ඉක්බිති වනාහි ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට මෙය සිතුණේය. “අනේ ඇත්තෙන් මේ සියලු දේවතාවෝ නිල් වෙත්වා, නිල්වන් වෙත්වා, නිල් ඇඳුම්, නිල් පළඳනා ඇත්තෝ වෙත්වා.” ඉක්බිත්තෙන් වනාහි ඒ දේවතාවෝ ආයුෂ්මත් අනුරුද්ධයන්ගේ සිත දැන සියල්ලෝම නිල් වුහ. නිල්වන් වූහ. නිල් ඇඳුම්, නිල් පළඳනා ඇත්තෝ වුහ. “ඉක්බිති වනාහි ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට මෙය සිතුණේය. “අනේ ඇත්තෙන් මේ සියලු දේවතාවෝ රන්වන් වෙත්වා, රන්වන් වෙත්වා, රන්වන් ඇඳුම්, රන්වන් පළඳනා ඇත්තෝ වෙත්වා.” ඉක්බිත්තෙන් වනාහි ඒ දේවතාවෝ ආයුෂ්මත් අනුරුද්ධයන්ගේ සිත දැන සියල්ලෝම රන්වන් වුහ. රන්වන් වූහ. රන්වන් ඇඳුම්, රන්වන් පළඳනා ඇත්තෝ වුහ. “ඉක්බිති වනාහි ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට මෙය සිතුණේය. “අනේ ඇත්තෙන් මේ සියලු දේවතාවෝ ලේවන් වෙත්වා, ලේවන් වෙත්වා, ලේවන් ඇඳුම්, ලේවන් පළඳනා ඇත්තෝ වෙත්වා.” ඉක්බිත්තෙන් වනාහි ඒ දේවතාවෝ ආයුෂ්මත් අනුරුද්ධයන්ගේ සිත දැන සියල්ලෝම ලේවන් වුහ. ලේවන් වූහ. ලේවන් ඇඳුම්, ලේවන් පළඳනා ඇත්තෝ වුහ. “ඉක්බිති වනාහි ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට මෙය සිතුණේය. “අනේ ඇත්තෙන් මේ සියලු දේවතාවෝ සුදුපාට වෙත්වා, සුදුපාට වෙත්වා, සුදුපාට ඇඳුම්, සුදුපාට පළඳනා ඇත්තෝ වෙත්වා.” ඉක්බිත්තෙන් වනාහි ඒ දේවතාවෝ ආයුෂ්මත් අනුරුද්ධයන්ගේ සිත දැන සියල්ලෝම සුදුපාට වුහ. සුදුපාට වූහ. සුදුපාට ඇඳුම්, සුදුපාට පළඳනා ඇත්තෝ වුහ.
“ඉක්බිත්තෙන් වනාහි ඒ සමහර දේවතා කෙනෙක් ගී කීහ. සමහර කෙනෙක් නැටූහ. සමහර කෙනෙක් අසුරු ගැසූහ. දක්ෂයන් විසින් මනාව වාදනය කළ සුවිනීත, මනාව පිළියෙළ වූ තූර්යයාගේ ශබ්දය, සුන්දර, රම්ය, කමනීය, ප්රේමනීය, මදනීය වේද, ඒ දේවතාවන්ගේ ශබ්දයද එසේම විය. ඉක්බිති වනාහි අනුරුද්ධයන් වහන්සේ ඉන්ද්රියයන් යට හෙළූ සේක.
ඉක්බිති වනාහි ඒ දේවතාවෝ ආර්ය අනුරුද්ධයන් වහන්සේ ආශ්වාදය නොකෙරේයයි එහිම අතුරුදහන්වූහ.
ඉක්බිත්තෙන් වනාහි ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ සවස විවේකයෙන් නැගිටි සේක් භාග්යවතුන් වහන්සේ කරා පැමිණියහ. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ භාග්යවතුන් වහන්සේට මෙය සැළකළහ.
“ස්වාමීනි, මෙහි මම දිවා විහාරයට ගියේ, විවේක සහිත වූයේ වෙමි. ඉක්බිති, ස්වාමීනි, බොහෝ මනාපකායික දේවතාවෝ මා කරා පැමුණුණෝය. පැමිණ, මා වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි ඒ දේවතාවෝ මට මෙය කීහ.
“ස්වාමිනි, අපි මනාප කායික නම් දේවතාවෝ වෙමු. තුන් කරුණක (අධිපති කම) ඓශ්චර්යය කරමු. වසඟය පවත්වමු. “ස්වාමීනි, අනුරුද්ධ, අපි යම්බඳු පාටක් කැමැත්තෙමුද, එබඳු වර්ණයක් ස්ථාන වශයෙන් ලබමු. යම්බඳු ස්වරයක් කැමැත්තෙමුද, එබඳු ස්වරයක් ස්ථාන වශයෙන් ලබමු. යම්බඳු සැපයක් කැමැතිවමුද, එබඳු සැපයක් ස්ථාන වශයෙන් ලබමු. ස්වාමීනි, අනුරුද්ධ, අපි මනපකායිකා නම් දේවතාවෝ වෙමු. මේ තුන් කරුණෙහි අධිපතිභාවය කරමු. වසඟය පවත්වමු.”