8. 1. 5. 7.
විශාඛාමනාපකායික සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර මිගාර මාතාව විසින් කරවන ලද පූර්‍වාරාමයෙහිවූ ප්‍රාසාදයෙහි වාසය කරන සේක. ඉක්බිති වනාහි මිගාර මාතාව නම්වූ විශාඛාව භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියාය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නාය. එකත් පසෙක හුන් මිගාර මාතා නම්වූ විශාඛාවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
විශාඛාවෙනි, කරුණු අටකින් යුත් ස්ත්‍රිය කය බිඳීමෙන් මරණින් පසු මනාපකායික නම් දේවතාවන් හා සම භාවයට යන්නීය. කවර කරුණු අටකින්ද යත්:
විශාඛාවෙනි, මෙහි ස්ත්‍රියක් වෙයි. ඇගේ යහපත කැමති, හිත කැමති, අනුකම්පා ඇති මව්පියෝ අනුකම්පාවෙන් ඇය යම් සැමියකුට පාවා දෙත් ද, ඕ ඒ සැමියාට පළමුව නැගිටින්නී, පසුව නිදන්නී, ‘කුමක් කරම් දැ’යි අසා කීකරු වන්නී, ඔහුගේ සිතට ප්‍රිය ලෙස හැසිරෙන්නී, ප්‍රිය වචන කියන්නී වෙයි -පෙ- ත්‍යාගවත් වූවා ද වෙයි. මසුරු මලෙන් තොර සිතින් යුතුව, මුදාහළ ත්‍යාග ඇත්තී, දීමට සේදූ අත් ඇත්තී, පරිත්‍යාගයෙහි ඇලුණී, ඉල්ලීමට සුදුසු වූවා, දන් දීමෙහි හා බෙදා දීමෙහි ඇලුණී ගිහි ගෙයි වාසය කරයි. විශාඛාවෙනි, මේ කරුණු අටින් යුත් ස්ත්‍රිය කය බිඳී මරණින් මතු මනාපකායික නම් දෙවියන් හා එක්ව උපදියි.
1. යම් පුරුෂයෙක් සියලු කල්හි නිතර තැවීම් ඇත්තේ, උත්සාහවත්ව ස්ත්‍රියක් පොෂ්‍යය කෙරේද, ඕතොමෝ සියලු කැමති දෙය දෙන්නාවූ, ස්වාමීවු, ඒ පුරුෂයා ඉක්මවා නොසිතන්නීය.
2. යහපත් ස්ත්‍රී තොමෝ ස්වාමිපුරුෂයා කැමැත්තෙන් හැසිරීම හේතුකොටගෙන කෝපද නොකරන්නීය. ස්වාමියාගේද මව් පිය පිදියයුතු සියල්ලන්ට නුවණැති ස්ත්‍රීතොමෝ පුදන්නීය.
3. නැගී සිටි වීර්‍ය්‍ය ඇති, අලස නුවූ, සඞ්ග්‍රහ කරණ ලද පිරිවර ජනයා ඇති ස්ත්‍රීතොමෝ, ස්වාමියාගේ සිත සතුටු කරවන්නී, හැසිරෙන්නීය. ස්වාමීහු විසින් උපයන ලද දෙය රක්‍ෂා කරන්නීය.
4. ස්වාමියාගේ කැමැත්ත අනුව ගියාවූ යම් ස්ත්‍රියක් තොමෝ මෙසේ පවතින්නීද, ඕ තොමෝ, මනාප නම්වූ ඒ දෙවියෝ යම් තැනකද, ඒ දිව්‍ය ලෝකයෙහි උපදින්නීය.
8. 1. 5. 8.
නකුලමාතු මනාපකායික සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භගුරට සුංසුමාර පර්‍වතය සමීපයෙහි, මෘගයන්ට අභය දුන් භෙසකලා වනයෙහි වැඩ වසන සේක. එකල්හි නකුලමාතා ගෘහපතිනිය, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැන්හි පැමිණියාය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නාය. එකත්පසෙක හුන්නාවූ නකුලමාතා ගෘහපතිනියට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
නකුලමාතාවෙනි, කරුණු අටකින් යුත් ස්ත්‍රිය කය බිඳී මරණින් මතු මනාපකායික නම් දෙවියන් හා එක්ව උපදියි. කවර කරුණු අටකින් ද යත්:
1. නකුලමාතාවෙනි, මෙහි ස්ත්‍රියක් වෙයි. ඇගේ යහපත කැමති, හිත කැමති, අනුකම්පා ඇති මව්පියෝ අනුකම්පාවෙන් ඇය යම් සැමියකුට පාවා දෙත් ද, ඕ ඒ සැමියාට පළමුව නැගිටින්නී, පසුව නිදන්නී, ‘කුමක් කරම් දැ’යි අසා කීකරු වන්නී, ඔහුගේ සිතට ප්‍රිය ලෙස හැසිරෙන්නී, ප්‍රිය වචන කියන්නී වෙයි.
2. සැමියාට මව ය කියා හෝ පියා ය කියා හෝ මහණ බමුණෝ ය කියා හෝ ගරු කළ යුතු යම් කෙනෙක් වෙත් ද, ඕ ඔවුන්ට සත්කාර කරයි, ගරු කරයි, බුහුමන් කරයි, පුදයි; නිවසට පැමිණි ඔවුන් අසුනෙන් හා පැනින් පුදයි.
3. සැමියාගේ එළු ලොම් වැඩ හෝ කපු වැඩ හෝ වූ යම් ගෙතුළ කර්මාන්ත වෙත් ද, ඕ ඒවායෙහි දක්ෂ වූවා, අලස නොවූවා වෙයි; ඒ ඒ වැඩට සුදුසු උපාය විමසීමෙන් යුතුව, තමා කිරීමටත් සංවිධානය කිරීමටත් සමත් වෙයි.
4. සැමියාගේ දාසයෝ ය කියා හෝ මෙහෙකරුවෝ ය කියා හෝ කම්කරුවෝ ය කියා හෝ යම් ගෙතුළ ජනයෙක් වෙත් ද, ඕ ඔවුන් කළ දේ කළ දේ ලෙස දනියි, නොකළ දේ නොකළ දේ ලෙස දනියි, ලෙඩ වූවන්ගේ ශක්තිය හා දුර්වලකම දනියි, කෑ යුතු දේ හා බුදිය යුතු දේ ඔවුනට සුදුසු කොටස් වශයෙන් බෙදා දෙයි.
5. සැමියා ධනය හෝ ධාන්‍ය හෝ රිදී හෝ රන් හෝ යමක් ගෙන එයි ද, ඕ එය රැකීමෙන් හා සුරැකීමෙන් පවත්වයි; එහි ලා නාස්ති කරන්නියක් නොවෙයි, සොරකම් කරන්නියක් නොවෙයි, සුරා සොඬියක් නොවෙයි, විනාශ කරන්නියක් නොවෙයි.
6. බුදුන් සරණ ගිය, දහම් සරණ ගිය, සඟුන් සරණ ගිය උපාසිකාවක් ද වෙයි.
7. සතුන් මැරීමෙන් වෙන් වූවා, සොරකමින් වෙන් වූවා, වැරදි කාම සේවනයෙන් වෙන් වූවා, බොරු කීමෙන් වෙන් වූවා, මත්වීමට හා ප්‍රමාදයට හේතු වන රහමෙරින් වෙන් වූවා සිල්වතියක් ද වෙයි.