8. 1. 5. 5.
5. බොජ්ඣුපොසථ සූත්‍රය
“එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනාථ පිණ්ඩික සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වසන සේක. ඉක්බිත්තෙන් වනාහි බොජ්ඣා උපාසිකාව භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියාය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නාය. එකත්පසෙක හුන් බොජ්ඣා උපාසිකාවට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“බොජ්ඣාවෙනි, අංග අටකින් යුත් පෙහෙවස් සමාදන්වූයේ මහත් ඵල වේ. මහත් ආනිශංස වේ. මහත් ආලෝක ඇත්තේ වේ. මහත් පැතිරීම් ඇත්තේ වේ.
බොජ්ඣාවෙනි, කෙසේ සමාදන්ව වසන ලද්දේ නම් අංග අටකින් යුත් පෙහෙවස මහත් ඵල වේද, මහත් ආනිශංස වේද, මහත් ආලෝක ඇත්තේ වේද, මහත් පැතිරීම් ඇත්තේ වේද යත්:
බොජ්ඣාවෙනි, මෙහි ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ නුවණින් සලකයි: “රහතන් වහන්සේලා දිවි ඇති තෙක් සතුන් මැරීම අත්හැර, සතුන් මැරීමෙන් වෙන් ව, බහා තැබූ දඬු ඇතිව, බහා තැබූ ආයුධ ඇතිව, පවට ලජ්ජා ඇතිව, දයාවෙන් යුතුව, සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කරති. මමත් අද මේ රැයත් මේ දවාලත් සතුන් මැරීම අත්හැර, සතුන් මැරීමෙන් වෙන් ව, බහා තැබූ දඬු ඇතිව, බහා තැබූ ආයුධ ඇතිව, පවට ලජ්ජා ඇතිව, දයාවෙන් යුතුව, සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කරමි. මේ අංගයෙනුත් මම රහතන් වහන්සේලා අනුකරණය කරමි. මා විසින් පෙහෙවස ද සමාදන්ව වසන ලද්දේ වන්නේය” යි මේ පළමුවන අංගයෙන් යුක්ත වෙයි -පෙ- “රහතන් වහන්සේලා දිවි ඇති තෙක් උස් අසුන් මහ අසුන් අත්හැර, උස් අසුන් මහ අසුන්වලින් වෙන් ව, ඇඳක හෝ තණ ඇතිරියක හෝ මිටි සයනයක සයනය කරති. මමත් අද මේ රැයත් මේ දවාලත් උස් අසුන් මහ අසුන් අත්හැර, උස් අසුන් මහ අසුන්වලින් වෙන් ව, ඇඳක හෝ තණ ඇතිරියක හෝ මිටි සයනයක සයනය කරමි. මේ අංගයෙනුත් මම රහතන් වහන්සේලා අනුකරණය කරමි. මා විසින් පෙහෙවස ද සමාදන්ව වසන ලද්දේ වන්නේය” යි මේ අටවන අංගයෙන් යුක්ත වෙයි.
බොජ්ඣාව, මෙසේ සමාදන්ව වසන ලද අංග අටකින් යුත් පෙහෙවස මහත් ඵලය, මහානිශංසය, මහත් ආලෝක ඇත්තේය, මහත් පැතිරීම් ඇත්තේය.
“කොපමණ මහත් ඵලද, කොපමණ මහත් ආනිශංසද, කොපමණ මහත් ආලෝක ඇත්තේද, කොපමණ මහත් පැතිරීම් ඇත්තේද?
“බොජ්ඣාව, යම්සේ යමෙක් මේ බොහෝ සත් රුවන් ඇති සොළොස් මහා ජනපදයන්හි ඉසුරු බව, අධිපතිබවවූ රාජ්‍යය කරන්නේද, කෙබඳු සොලොස් මහා ජනපදයන්ගේද යත්? අංග - මගධ - කාශි - කොශල - වජ්ජි - මල්‍ය - වෙදි - වංග - කුරු - පඤ්චාල - මත්ස්‍ය - ශුරසෙන - අශ්වක - අවන්ති - ගන්‍ධාර - කාම්බොජ යන මොවුන්ගේය.” “මෙය අංග අටකින් යුත් පෙහෙවස්හි සොළොස්වන කලාවටත් නොඅගී. එයට හේතු කවරේද? බොජ්ඣාව, දිව්‍ය සුඛය හා සසඳන කල මනුෂ්‍ය රාජ්‍යය දිළිඳුය.
“බොජ්ඣාව, මිනිසුන්ගේ යම් පණස් අවුරුද්දක් වේද, ඒ සිව් මහා රජයේ දෙවියන්ට මේ එක්රෑ දවාලකි. ඒ රැයින් තිස් රැයක් මාසයයි. ඒ මාසයෙන් දොලොස් මසක් අවුරුද්දය. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ පන්සියයක් සිවු මහ රජයේ දෙවියන්ට ආයුෂ ප්‍රමාණයයි.