8. 1. 5. 2.
2. දුතිය අට්ඨඞ්ගුපොසථ සූත්‍රය
42. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු මහ සිටාණන් විසින් කරවන ලද ජේතවන මහා විහාරයෙහි වැඩ වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” කියා භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්‍ෂූහු, ‘භාග්‍යවතුන් වහන්සැ’ යි කියා ප්‍රති වචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි, අංග අටකින් යුත් පෙහෙවස් සමාදන්වූයේ මහත් ඵලය, මහානිශංසය, මහාජුතිකය, මහා විප්ඵාරය. අංග අටකින් යුත් පෙහෙවස් කෙසේ සමාදන්වූයේ මහත් ඵලද, මහත් ආනිශංසද, මහත් ආලෝක ඇත්තේද, මහත් පැතිරීම් ඇත්තේද?
“මහණෙනි, මෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම මෙසේ සලකයි. “ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ සතුන් නැසීම හැර දමා, සතුන් මැරීමෙන් වෙන්වී, බහා තැබූ දඬු ඇතිව, බහා තැබූ ආයුධ ඇතිව, ලජ්ජා ඇතිව, දයාවට පැමිණ, සියලු ප්‍රාණභූතයන්ට හිත අනුකම්පා ඇතිව වසත්. “මමත් අද මේ රැය, මේ දවස, සතුන් මැරීම හැර දමා, සතුන් මැරීමෙන් වෙන්ව, බහා තැබූ දඬු ඇතිව, බහා තැබූ ආයුධ ඇතිව, ලජ්ජා ඇත්තේ, දයාවට පැමිණියේ, සියලු ප්‍රාණභූතයන්ට හිත අනුකම්පා ඇත්තේ වසමි. “මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේය” යි මේ පළමුවන අංගයෙන් යුක්තවූයේ වෙයි. “ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ අනුන් දුන් දෙය ගැනීමෙන් තොරව, දුන් දෙය ගන්නේ, දුන් දෙය බලාපොරොත්තු වන්නේ, ඉක්බිති මේ පිරිසිදුවූ ආත්මයෙන් වෙසෙත්ද, “මමත් අද මේ රැය, මේ දවස, නුදුන් දෙය ගැන්ම හැර දමා නුදුන් දෙය ගැන්මෙන් වෙන්වූයේ, දුන් දෙය ගන්නේ දුන් දෙය බලාපොරොත්තුවන්නේ, ඉක්බිති මේ පිරිසිදුවූ ආත්මයෙන් වසමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේය” යි මේ දෙවන අංගයෙන් යුක්තවූයේ වෙයි. “ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ කාම සේවනය (බ්‍රහ්මයා මෙන් නොහැසිරීම) හැර දමා බඹසර රකින්නේ (කාම සේවනය නොකරන්නේ) දුරුව හැසිරෙන්නේ, දෙදෙනෙකුගේ හැසිරීමවූ ගමුන්ගේ ක්‍රියාවෙහි නොඇලුණේද, ‘මමත් අද මේ රැය, මේ දවාල, කාම සේවනය හැර, කාම සේවනයෙන් තොර බඹසර රකින්නේ, දුරුව හැසිරෙන්නේ, දෙදෙනෙකුගේ හැසිරීමවූ ගමුන්ගේ ක්‍රියාවෙහි නොඇලුණේ වෙමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේය” යි මේ තුන්වන අංගයෙන්ද යුක්තවූයේ වෙයි. “ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ බොරුකීම හැරදමා, බොරු කීමෙන් වෙන්වූයේ, ඇත්ත කියන්නේ, ඇත්තට බැඳී ඇත්තේ, ඇදහිය යුතුවූයේ, විශ්වාස කළ හැකි වූයේ, ලෝකයාට නොගැලපෙන කියුම් නැත්තේ වෙත්. මමද බොරුකීම හැර දමා, බොරු කීමෙන් වෙන්ව, සත්‍යය කියන්නේ, සත්‍යය බලාපොරොත්තු වන්නේ, ඉක්බිති මේ ආත්මයෙන් වසමි. “මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස්ද සමාදන් වූයේ වන්නේය” යි මේ සතරවන අංගයෙන් යුක්තවූයේ වෙයි. “ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ රා මෙර මත් ද්‍රව්‍යයන්හි පමාව සිටීම හැර, රා මෙර මත් ද්‍රව්‍යවල ප්‍රමාදව සිටීමෙන් වෙන්වේද, මමත් අද මේ රැය, මේ දාවල, රා මෙර පානය හැර දමා, රා මෙර පානයෙන් වෙන්ව, ඉක්බිති මේ ආත්මයෙන් වසමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේයයි මේ පස්වන අංගයෙන්ද යුක්තවූයේ වෙයි. “ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ එකම බතක් වළඳන්නේ, විකාල (නොකල) කෑමෙන්රෑ වෙන්වූයේ, නොඇලුණේ වෙත්. මමද මේ රැය, මේ දාවල, විකාල භෝජනයෙන් වැලකෙන්නේ, විකාල භෝජනයෙන් වෙන්ව, ඉක්බිති මේ ආත්මයෙන් වසමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේයයි මේ හයවන අංගයෙන්ද යුක්තවූයේ වෙයි. “ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ නැටීම්, ගී කීම්, බෙර ගැසීම්, උසුළු විසුළු බැලීම්, මල්දම් සුවඳ විලවුන් දැරීම, පැළඳීම, සැරසීම යන කරුණු වලින් වැළකුණේ වෙයි. මමද අද මේ රැය, මේ දවස, නැටීම්, ගී කීම්, බෙර ගැසීම්, උසුළු විසුළු බැලීම්, මල්දම් සුවඳ විලවුන් දැරීම, පැළඳීම, සැරසීම යන කරුණු වලින් වැළකුණේ, නැටීම්, ගී කීම්, බෙර ගැසීම්, උසුළු විසුළු බැලීම්, මල්දම් සුවඳ විලවුන් දැරීම, පැළඳීම, සැරසීම යන කරුණු වලින් වෙන්ව ඉක්බිති මේ ආත්මයෙන් වසමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේයයි මේ සත්වන අංගයෙන් යුක්තවූයේ වෙයි.
“ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ උස් අසුන්, මහ අසුන් හැර, උස් අසුන් මහ අසුන්වලින් වෙන්ව, මැස්සක හෝ, තණ ඇතිරියක හෝ, පැදුරෙහි නිදීම කරන්නේ වේද, ‘මමද මේ රැය, මේ දවාල, උස් අසුන් මහ අසුන් හැර, උස් අසුන් මහ අසුන්වලින් වෙන්ව, වැලකෙන්නේ, උස් අසුන් මහ අසුන් හැර, උස් අසුන් මහ අසුන්වලින් වෙන්ව, ඉක්බිති මේ ආත්මයෙන් වසමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේයයි මේ අටවැනි අංගයෙන්ද යුක්තවූයේ වෙයි. මහණෙනි, අංග අටකින් යුත් පෙහෙවස් සමාදන්වූයේ මහත් ඵලය. මහානිශංසය. මහත් ආලෝක ඇත්තේය. මහත් පැතිරීම් ඇත්තේය.
මහත් ඵලය කොපමණ වේද, මහත් ආනිශංසය කොපමණ වේද, මහත් ආලෝකය කොපමණ වේද, මහත් පැතිරීම කොපමණ වේද,
“මහණෙනි, යම්සේ යමෙක් මේ බොහෝ සත් රුවන් ඇති සොළොස් මහා ජනපදයන්හි ඉසුරු බව, අධිපතිබවවූ රාජ්‍යය කරන්නේද, කෙබඳු සොලොස් මහා ජනපදයන්ගේද යත්? අංග - මගධ - කාශි - කොශල - වජ්ජි - මල්‍ය - වෙදි - වංග - කුරු - පඤ්චාල - මත්ස්‍ය - ශුරසෙන - අශ්වක - අවන්ති - ගන්‍ධාර - කාම්බොජ යන මොවුන්ගේය.” “මෙය අංග අටකින් යුත් පෙහෙවස්හි සොළොස්වන කලාවටත් නොඅගී. එයට හේතු කවරේද?
මහණෙනි, දිව්‍ය සුඛය හා සසඳන කල මනුෂ්‍ය රාජ්‍යය දිළිඳුය. “මහණෙනි, මිනිසුන්ගේ යම් පණස් අවුරුද්දක් වේද, ඒ සිව් මහා රජයේ දෙවියන්ට මේ එක්රෑ දවාලකි. ඒ රැයින් තිස් රැයක් මාසයයි. ඒ මාසයෙන් දොලොස් මසක් අවුරුද්දය. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ පන්සියයක් සිවු මහ රජයේ දෙවියන්ට ආයුෂ ප්‍රමාණයයි. “මහණෙනි, මෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අංග අටකින් යුත් යම් පෙහෙවසක් සමාදන්ව වැස කය බිඳී මරණින් මතු සතර මහා රජයේ දෙවියන් හා සම බවට පැමිණෙයි යන කරුණු විද්‍යමාන වේ.