8. 1. 5. 3.
3. විසාඛුපොසථ සූත්‍රය
“එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර මිගාර මාතාව විසින් කරවන ලද පූර්‍වාරාමයෙහිවූ ප්‍රාසාදයෙහි වාසය කරන සේක. ඉක්බිති වනාහි මිගාර මාතාව නම්වූ විශාඛාව භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියාය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නාය. එකත් පසෙක හුන් මිගාර මාතා නම්වූ විශාඛාවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“විශාඛාවෙනි, අංග අටකින් යුත් පෙහෙවස් සමාදන්වූයේ මහත්ඵල වේ. මහත් ආනිශංස වේ. මහත් ආලෝක ඇත්තේ වේ. මහත් පැතිරීම් ඇත්තේ වේ.
විශාඛාවෙනි, අංග අටකින් යුත් පෙහෙවස කෙසේ රකින ලද්දේ මහත් ඵල ඇත්තේ ද, මහත් ආනිසංස ඇත්තේ ද, මහත් බැබළීම් ඇත්තේ ද, මහත් සේ පැතිරෙන්නේ ද වේ ද යත්:
විශාඛාවෙනි, මේ සසුනෙහි ආර්ය ශ්රාවකයා මෙසේ නුවණින් සලකයි: ‘රහතන් වහන්සේලා දිවි ඇති තාක් සතුන් මැරීම හැර, සතුන් මැරීමෙන් වැළකී, බහා තැබූ දඬු ඇතිව, බහා තැබූ ආයුධ ඇතිව, පවට ලජ්ජා ඇතිව, දයාවෙන් යුක්තව, සියලු සත්ත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කරති. මමත් අද මේ රැයත් මේ දවාලත් සතුන් මැරීම හැර, සතුන් මැරීමෙන් වැළකී, බහා තැබූ දඬු ඇතිව, බහා තැබූ ආයුධ ඇතිව, පවට ලජ්ජා ඇතිව, දයාවෙන් යුක්තව, සියලු සත්ත්වයන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කරමි. මම මේ අංගයෙනුත් රහතන් වහන්සේලා අනුකරණය කරමි. මා විසින් පෙහෙවස ද රකින ලද්දේ වන්නේ ය’ යි මේ පළමුවන අංගයෙන් යුක්ත වෙයි. -පෙ-
“ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ උස් අසුන්, මහ අසුන් හැර, උස් අසුන් මහ අසුන්වලින් වෙන්ව, මැස්සක හෝ, තණ ඇතිරියක හෝ, පැදුරෙහි නිදීම කරන්නේ වේද, ‘මමද මේ රැය, මේ දවාල, උස් අසුන් මහ අසුන් හැර, උස් අසුන් මහ අසුන්වලින් වෙන්ව, වැලකෙන්නේ, උස් අසුන් මහ අසුන් හැර, උස් අසුන් මහ අසුන්වලින් වෙන්ව, ඉක්බිති මේ ආත්මයෙන් වසමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේයයි මේ අටවැනි අංගයෙන්ද යුක්තවූයේ වෙයි.
“විශාඛාවෙනි, අංග අටකින් යුත් පෙහෙවස් සමාදන්වූයේ මහත්ඵල වේ. මහත් ආනිශංස වේ. මහත් ආලෝක ඇත්තේ වේ. මහත් පැතිරීම් ඇත්තේ වේ.
“කොපමණ මහත් ඵල වේද, කොපමණ මහත් ආනිශංස වේද, කොපමණ මහත් ආලෝක වේද? කොපමණ මහත් පැතිරීම් වේද?
“විශාඛාවෙනි, යම්සේ යමෙක් මේ බොහෝ සත් රුවන් ඇති සොළොස් මහා ජනපදයන්හි ඉසුරු බව, අධිපතිබවවූ රාජ්‍යය කරන්නේද, කෙබඳු සොලොස් මහා ජනපදයන්ගේද යත්? අංග - මගධ - කාශි - කොශල - වජ්ජි - මල්ය - වෙදි - වංග - කුරු - පඤ්චාල - මත්ස්‍ය - ශුරසෙන - අශ්වක - අවන්ති - ගන්ධාර - කාම්බොජ යන මොවුන්ගේය.” “මෙය අංග අටකින් යුත් පෙහෙවස්හි සොළොස්වන කලාවටත් නොඅගී. එයට හේතු කවරේද?
විශාඛාවෙනි, දිව්‍ය සුඛය හා සසඳන කල මනුෂ්‍ය රාජ්‍යය දිළිඳුය. “විශාඛාවෙනි, මිනිසුන්ගේ යම් පණස් අවුරුද්දක් වේද, ඒ සිව් මහා රජයේ දෙවියන්ට මේ එක්රෑ දවාලකි. ඒ රැයින් තිස් රැයක් මාසයයි. ඒ මාසයෙන් දොලොස් මසක් අවුරුද්දය. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ පන්සියයක් සිවු මහ රජයේ දෙවියන්ට ආයුෂ ප්‍රමාණයයි. “විශාඛාවෙනි, මෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අංග අටකින් යුත් යම් පෙහෙවසක් සමාදන්ව වැස කය බිඳී මරණින් මතු සතර මහා රජයේ දෙවියන් හා සම බවට පැමිණෙයි යන කරුණු විද්‍යමාන වේ.
“විශාඛාවෙනි, දිව්‍ය සුඛය හා සසඳන කල මනුෂ්‍ය රාජ්‍යය දිළිඳුය. මේ සඳහා කියන ලදී. විශාඛාවෙනි, මිනිසුන්ගේ යම් වර්ෂ සියයක් තව්තිසාවේ දෙවියනට මේ එකරෑ දවාලක් වේද, ඒ රැයින්රෑ තිහක් මාසයෙකි. ඒ මාසයෙන් දොළොස් මසක් අවුරුද්දෙකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ දහසක් තව්තිසාවේ දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණයයි. විශාඛාවෙනි, මෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අංග අටකින් යුත් යම් පෙහෙවසක් සමාදන්ව වැස කය බිඳී මරණින් මතු තව්තිසා දෙවියන් හා සමානත්වයට පැමිණෙයි යන මේ කරුණ විද්‍යමාන වේ.
විශාඛාවෙනි, මිනිසුන්ගේ යම් අවුරුදු දෙසියයක් වේ ද -පෙ- අවුරුදු අටසියයක් -පෙ- අවුරුදු එක්දහස් හයසියයක් -පෙ- එය පරනිම්මිතවසවත්තී දෙවියන්ට එක් රෑ දවාලකි. ඒ රැයෙන් තිස් රැයක් මාසයකි. ඒ මාසයෙන් දොළොස් මාසයක් අවුරුද්දකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය අවුරුදු දහසය දහසක් පරනිම්මිතවසවත්තී දෙවියන්ගේ ආයු ප්‍රමාණය වෙයි.