8. 1. 3. 7.
අට්ඨබල සූත්රය
සැවැත් නුවර නිදානයි.
“මහණෙනි, මේ (ලෝකයෙහි) බල අටෙක් වෙත්. කවර අටෙක්ද යත්? මහණෙනි, ළදරුවෝ හැඬීම බලයකොට වසන්නාහ. ස්ත්රීවරු ක්රෝධය බලයකොට වසන්නාහ. සොරු ආවුධ බලයකොට වසන්නාහ. රජවරු ඓශ්චර්ය්යය බලයකොට වසන්නාහ. අඥානයෝ උසස්ව ඝෝෂා කොට අවඥා කිරීම බලයකොට වසන්නාහ. පණ්ඩිතයෝ ඉවසීම හෝ යුතු අයුතු පරීක්ෂණය බලයකොට වසන්නාහ. ධර්ම ශාස්ත්රයන් උගත්තාහු (ඒ අනුව) නුවණින් මෙනෙහි කිරීම බලයකොට වසන්නාහ. නික්ලේශී උත්තමයෝද, පැවිදි උතුමෝද, ඉවසීම බලයකොට වසන්නාහ. මහණෙනි, මේ අට බල (ධර්ම) යෝ වෙත්.”
8. 1. 3. 8.
ඛීණාසව බල සූත්රය
[සැවැත් නිදානයි]
ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්ර සථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට මනාකොට වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“ශාරීපුත්රය, යම්කිසි බල ධර්ම වලින් යුක්තවූ, ආශ්රව ක්ෂය කළාවූ (රහත්වූ), භික්ෂු තෙම, ‘මාගේ (කාමාදී) ආශ්රවයෝ ක්ෂය වූවාහුය’ යි ආශ්රවයන්ගේ ක්ෂයවීම ප්රතිඥා කෙරේද, (එබඳුවූ) ක්ෂීණාශ්රව භික්ෂුවගේ බල ධර්මයෝ කෙතෙක්ද?”
“ස්වාමීන් වහන්ස, යම්කිසි බල ධර්ම වලින් යුක්තවූ ක්ෂීණාශ්රව භික්ෂුතෙම, ‘මාගේ (කාමාදී) ආශ්රවයෝ ක්ෂයවූවාහුය’ යි ආශ්රවයන්ගේ ක්ෂය වීම ප්රතිඥා කෙරේ නම් (එබඳුවූ) ක්ෂීණාශ්රව භික්ෂුවගේ බල ධර්මයෝ අට දෙනෙක් වෙත්. කවර අට දෙනෙක්ද යත්?
1. ස්වාමීන් වහන්ස, මේ ශාසනයෙහි ක්ෂීණාශ්රව භික්ෂුව විසින් සියලු සංස්කාර ධර්මයෝ අනිත්ය වශයෙන් තත්වූ පරිද්දෙන් සම්යක් ප්රඥාවෙන් යහපත් ලෙස දක්නා ලද්දෝ වෙත්. ස්වාමීන් වහන්ස, ක්ෂීණාශ්රව භික්ෂුව විසින් සියලු සංස්කාර ධර්මයෝ අනිත්ය වශයෙන් තත්වූ පරිද්දෙන් සම්යක් ප්රඥාවෙන් යහපත් ලෙස දක්නා ලද්දෝය යන යම් බලයක් වේද, ස්වාමීන් වහන්ස, ක්ෂීණාශ්රව භික්ෂු තෙම යම් බලයකට පැමිණ, ‘මාගේ කාමාදී ආශ්රවයෝ ක්ෂය වූවාහුය’ යි ආශ්රවයන්ගේ ක්ෂයවීම ප්රතිඥා කෙරේ නම්, මෙයද ක්ෂීණාශ්රව භික්ෂුවගේ බලයක් වේ.
2. ස්වාමීන් වහන්ස, නැවතද, ක්ෂීණාශ්රව භික්ෂුව විසින් කාමයෝ ගිනි අඟුරු වලකට උපමා ඇත්තහුයයි තත්වු පරිද්දෙන් සම්යක් ප්රඥාවෙන් යහපත්ව දක්නා ලද්දෝ වෙත්. ස්වාමීන් වහන්ස, ක්ෂීණාශ්රව භික්ෂුව විසින් කාමයෝ ගිනි අඟුරු වලකට උපමා ඇත්තාහුයයි තත්වූ පරිද්දෙන් සම්යක් ප්රඥාවෙන් යහපත් ලෙස දක්නා ලද්දෝය යන යම් බලයක් වේද, ස්වාමීන් වහන්ස, ක්ෂීණාශ්රව භික්ෂු තෙම යම් බලයකට පැමිණ, ‘මාගේ කාමාදී ආශ්රවයෝ ක්ෂය වූවාහුය’ යි ආශ්රවයන්ගේ ක්ෂයවීම ප්රතිඥා කෙරේ නම්, මෙයද ක්ෂීණාශ්රව භික්ෂුවගේ බලයක් වේ.
3. ස්වාමීන් වහන්ස, නැවතද ක්ෂීණාශ්රව භික්ෂුවගේ සිත, ඵල සමාපත්ති වශයෙන් උපධි විවේක සංඛ්යාතවූ නිර්වාණයට නැමුණේ වේ, නිර්වාණයට යොමුවූයේ වේ, නිර්වානය දෙසට බරවූයේ වේ. ක්ලේශයන්ගෙන් තොරවූයේද, දුරුවූයේද වේ. ගිහිගෙන් නික්ම පැවිදි වීමෙහි හා භවයෙන් නික්මීමෙහි ඇලුනේ වේ. සර්වප්රකාරයෙන් (කාමාදී) ආශ්රව ධර්මයන්ගෙන් වෙන්වූයේ වේ. ස්වාමීන් වහන්ස, ක්ෂීණාශ්රව භික්ෂුවගේ සිත ඵල සමාපත්ති වශයෙන් උපධි විවේක සංඛ්යාතවූ නිර්වාණයට නැමුණේය, නිර්වාණයට යොමුවූනේය, නිර්වාණය දෙසට බරවූයේය. ක්ලේශයන්ගෙන් තොරවූයේද, දුරුවූයේය, ගිහිගෙන් නික්ම පැවිදි වීමෙහි හා භවයෙන් නික්මීමෙහි ඇලුනේය යන යම් බලයක් වේද, ස්වාමීන් වහන්ස, ක්ෂීණාශ්රව භික්ෂු තෙම යම් බලයකට පැමිණ, ‘මාගේ කාමාදී ආශ්රවයෝ ක්ෂය වූවාහුය’ යි ආශ්රවයන්ගේ ක්ෂයවීම ප්රතිඥා කෙරේ නම්, මෙයද ක්ෂීණාශ්රව භික්ෂුවගේ බලයක් වේ.