8. 1. 3. 8.
ඛීණාසව බල සූත්රය
[සැවැත් නිදානයි]
ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්ර සථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට මනාකොට වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“ශාරීපුත්රය, යම්කිසි බල ධර්ම වලින් යුක්තවූ, ආශ්රව ක්ෂය කළාවූ (රහත්වූ), භික්ෂු තෙම, ‘මාගේ (කාමාදී) ආශ්රවයෝ ක්ෂය වූවාහුය’ යි ආශ්රවයන්ගේ ක්ෂයවීම ප්රතිඥා කෙරේද, (එබඳුවූ) ක්ෂීණාශ්රව භික්ෂුවගේ බල ධර්මයෝ කෙතෙක්ද?”
“ස්වාමීන් වහන්ස, යම්කිසි බල ධර්ම වලින් යුක්තවූ ක්ෂීණාශ්රව භික්ෂුතෙම, ‘මාගේ (කාමාදී) ආශ්රවයෝ ක්ෂයවූවාහුය’ යි ආශ්රවයන්ගේ ක්ෂය වීම ප්රතිඥා කෙරේ නම් (එබඳුවූ) ක්ෂීණාශ්රව භික්ෂුවගේ බල ධර්මයෝ අට දෙනෙක් වෙත්. කවර අට දෙනෙක්ද යත්?
1. ස්වාමීන් වහන්ස, මේ ශාසනයෙහි ක්ෂීණාශ්රව භික්ෂුව විසින් සියලු සංස්කාර ධර්මයෝ අනිත්ය වශයෙන් තත්වූ පරිද්දෙන් සම්යක් ප්රඥාවෙන් යහපත් ලෙස දක්නා ලද්දෝ වෙත්. ස්වාමීන් වහන්ස, ක්ෂීණාශ්රව භික්ෂුව විසින් සියලු සංස්කාර ධර්මයෝ අනිත්ය වශයෙන් තත්වූ පරිද්දෙන් සම්යක් ප්රඥාවෙන් යහපත් ලෙස දක්නා ලද්දෝය යන යම් බලයක් වේද, ස්වාමීන් වහන්ස, ක්ෂීණාශ්රව භික්ෂු තෙම යම් බලයකට පැමිණ, ‘මාගේ කාමාදී ආශ්රවයෝ ක්ෂය වූවාහුය’ යි ආශ්රවයන්ගේ ක්ෂයවීම ප්රතිඥා කෙරේ නම්, මෙයද ක්ෂීණාශ්රව භික්ෂුවගේ බලයක් වේ.
2. ස්වාමීන් වහන්ස, නැවතද, ක්ෂීණාශ්රව භික්ෂුව විසින් කාමයෝ ගිනි අඟුරු වලකට උපමා ඇත්තහුයයි තත්වු පරිද්දෙන් සම්යක් ප්රඥාවෙන් යහපත්ව දක්නා ලද්දෝ වෙත්. ස්වාමීන් වහන්ස, ක්ෂීණාශ්රව භික්ෂුව විසින් කාමයෝ ගිනි අඟුරු වලකට උපමා ඇත්තාහුයයි තත්වූ පරිද්දෙන් සම්යක් ප්රඥාවෙන් යහපත් ලෙස දක්නා ලද්දෝය යන යම් බලයක් වේද, ස්වාමීන් වහන්ස, ක්ෂීණාශ්රව භික්ෂු තෙම යම් බලයකට පැමිණ, ‘මාගේ කාමාදී ආශ්රවයෝ ක්ෂය වූවාහුය’ යි ආශ්රවයන්ගේ ක්ෂයවීම ප්රතිඥා කෙරේ නම්, මෙයද ක්ෂීණාශ්රව භික්ෂුවගේ බලයක් වේ.
3. ස්වාමීන් වහන්ස, නැවතද ක්ෂීණාශ්රව භික්ෂුවගේ සිත, ඵල සමාපත්ති වශයෙන් උපධි විවේක සංඛ්යාතවූ නිර්වාණයට නැමුණේ වේ, නිර්වාණයට යොමුවූයේ වේ, නිර්වානය දෙසට බරවූයේ වේ. ක්ලේශයන්ගෙන් තොරවූයේද, දුරුවූයේද වේ. ගිහිගෙන් නික්ම පැවිදි වීමෙහි හා භවයෙන් නික්මීමෙහි ඇලුනේ වේ. සර්වප්රකාරයෙන් (කාමාදී) ආශ්රව ධර්මයන්ගෙන් වෙන්වූයේ වේ. ස්වාමීන් වහන්ස, ක්ෂීණාශ්රව භික්ෂුවගේ සිත ඵල සමාපත්ති වශයෙන් උපධි විවේක සංඛ්යාතවූ නිර්වාණයට නැමුණේය, නිර්වාණයට යොමුවූනේය, නිර්වාණය දෙසට බරවූයේය. ක්ලේශයන්ගෙන් තොරවූයේද, දුරුවූයේය, ගිහිගෙන් නික්ම පැවිදි වීමෙහි හා භවයෙන් නික්මීමෙහි ඇලුනේය යන යම් බලයක් වේද, ස්වාමීන් වහන්ස, ක්ෂීණාශ්රව භික්ෂු තෙම යම් බලයකට පැමිණ, ‘මාගේ කාමාදී ආශ්රවයෝ ක්ෂය වූවාහුය’ යි ආශ්රවයන්ගේ ක්ෂයවීම ප්රතිඥා කෙරේ නම්, මෙයද ක්ෂීණාශ්රව භික්ෂුවගේ බලයක් වේ.
4. ස්වාමීන් වහන්ස, නැවතද, ක්ෂීණාශ්රව භික්ෂුව විසින් සතර සතිපට්ඨාන ධර්මයෝ යහපත්ව භාවනා කරණ ලද්දාහු වෙත්. ස්වාමීන් වහන්ස, ක්ෂීණාශ්රව භික්ෂු තෙම යම් බලයකට පැමිණ, ‘මාගේ කාමාදී ආශ්රවයෝ ක්ෂය වූවාහුය’ යි ආශ්රවයන්ගේ ක්ෂයවීම ප්රතිඥා කෙරේ නම්, මෙයද ක්ෂීණාශ්රව භික්ෂුවගේ බලයක් වේ.
5-8. ස්වාමීන් වහන්ස, නැවතද, ක්ෂීණාශ්රව භික්ෂුව විසින් සතර ඎද්ධිපාද ධර්මයෝ යහපත්ව භාවනා කරණ ලද්දාහු වෙත්. ස්වාමීන් වහන්ස, ක්ෂීණාශ්රව භික්ෂු තෙම යම් බලයකට පැමිණ, ‘මාගේ කාමාදී ආශ්රවයෝ ක්ෂය වූවාහුය’ යි ආශ්රවයන්ගේ ක්ෂයවීම ප්රතිඥා කෙරේ නම්, මෙයද ක්ෂීණාශ්රව භික්ෂුවගේ බලයක් වේ. ශ්රද්ධාදී පඤ්චෙන්ද්රිය ධර්මයෝ යහපත්ව භාවනා කරණ ලද්දාහු වෙත්. ස්වාමීන් වහන්ස, ක්ෂීණාශ්රව භික්ෂු තෙම යම් බලයකට පැමිණ, ‘මාගේ කාමාදී ආශ්රවයෝ ක්ෂය වූවාහුය’ යි ආශ්රවයන්ගේ ක්ෂයවීම ප්රතිඥා කෙරේ නම්, මෙයද ක්ෂීණාශ්රව භික්ෂුවගේ බලයක් වේ. සප්තබොධ්යඞ්ග ධර්මයෝ යහපත්ව භාවනා කරණ ලද්දාහු වෙත්. ස්වාමීන් වහන්ස, ක්ෂීණාශ්රව භික්ෂු තෙම යම් බලයකට පැමිණ, ‘මාගේ කාමාදී ආශ්රවයෝ ක්ෂය වූවාහුය’ යි ආශ්රවයන්ගේ ක්ෂයවීම ප්රතිඥා කෙරේ නම්, මෙයද ක්ෂීණාශ්රව භික්ෂුවගේ බලයක් වේ. ආර්ය්ය අෂ්ටාංගික මාර්ගය තෙම යහපත්ව භාවනා කරණ ලද්දේ වේ. “ස්වාමීන් වහන්ස, ක්ෂීණාශ්රව භික්ෂුව විසින් ආර්ය්ය අෂ්ටාංගික මාර්ගය තෙම යහපත්ව භාවනා කරණ ලද්දේය යන යම් බලයක් වේද, ස්වාමීන් වහන්ස, ක්ෂීණාශ්රව භික්ෂු තෙම යම් බලයකට පැමිණ, ‘මාගේ කාමාදී ආශ්රවයෝ ක්ෂය වූවාහුය’ යි ආශ්රවයන්ගේ ක්ෂයවීම ප්රතිඥා කෙරේ නම්, මෙයද ක්ෂීණාශ්රව භික්ෂුවගේ බලයක් වේ.
ස්වාමීන් වහන්ස, ක්ෂීණාශ්රව භික්ෂුවගේ මේ අට බල ධර්මයෝ ය. යම් බල ධර්මවලින් යුක්තවූ ක්ෂීණාශ්රව භික්ෂු තෙම ‘මාගේ ආශ්රවයෝ ක්ෂය වූවාහුය’ යි ආශ්රවයන්ගේ ක්ෂයවීම ප්රතිඥා කෙරේ.
8. 1. 3. 9.
අක්ඛණ සූත්රය
[සැවැත් නිදානයි]
මහණෙනි, ධර්මය නොදත් පෘතග්ජන තෙම ලෝකයා අවකාශ ලැබ කටයුතු කරන්නේය. ලෝකයා අවකාශ ලැබ කටයුතු කරන්නේයයි කියයි. (එසේද වුවත්) හෙතෙම අවකාශය හෝ අනවකාශය නොදනී. මහණෙනි, මේ අවස්ථා අට ශාසන බ්රහ්මචර්ය්යාව රැකීමට අනවකාශවූ අකාලයෝ වෙත්. කවර අවස්ථා අටෙක්ද යත්?
1. මහණෙනි, මේ ලෝකයෙහි අර්හත්වූ, සම්යක් සම්බුද්ධවූ, අෂ්ටවිද්යා පසළොස් වරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගමන් ඇත්තාවූ, කාම, රූප, අරූපාදී ලෝකයන් දත්තාවූ, නිරුත්තරවූ, බඹ, සුර, නර ආදී පුරුෂයන් දමනය කිරීමෙහි සාරථීවූ, දෙවි මිනිසුන්ට අර්ත්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාවූ, ස්වයම්භූඥානයෙන් චතුරාර්ය්ය සත්යය අවබෝධ කළාවූ, විභජ්ජවාදීවූ තථාගතයන් වහන්සේ පහළවූයේ වේද, කෙලෙස් සන්සිඳවන්නාවූ, ක්ලේශ පරිනිර්වාණය කරන්නාවූ, සතර මාර්ගඥාන සංඛ්යාතවූ, සම්බෝධියට පමුණුවන්නාවු බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්රී සද්ධර්මයද දේශනා කරණු ලැබේද, (එකල්හි) යම් මේ පුද්ගලයෙක් තෙම නරකයෙහි උපන්නේ වේද, මහණෙනි, මේ ශාසන බ්රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ පළමුවෙනි අකාලයයි.